පුවත්

හරක් කටා හා කුඩු සළිඳු‌ගේ නඩු විභාග ඉක්මන් කරන්නැයි නීතිපති ඉල්ලයි

Published

on

සිය ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන හරක් කටා සහ කුඩු සළිඳු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් කඩිනමින් විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධය පළ කළේය.

මෙම පෙත්සම් ගොනුකර මාස කිහිපයක් ගත වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය මෙතෙක් පියවර ගෙන නැතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා චෝදනා කළේය.

ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 27 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 01 වනදා ගොනු කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

(අද දෙරණ)

Trending

Exit mobile version