රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ලබාගෙන තිබූ දුරකතන ඇමතුම් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
හරක් කටා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිළි විමර්ශන ඒකකයේ ස්ථාවර දුරකතනවලින් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයට අමතරව, විමර්ශන සිදුකරන ඇතැම් උසස් නිලධාරීන්ගේ පුද්ගලික දුරකතන වලින් හරක් කටා වීඩියෝ ඇමැතුම් පවා ලබාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සදහා දුරකතන වාර්තා විශ්ලේෂණ සිදුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වෙනුවෙන් හරක් කටා ඉහත නිලධාරීන්ට විශාල වශයෙන් මුදල් ලබා දී ඇති බවත්, ඇතැම් නිලධාරීන්ට නිවාස ඉදිකිරීමට, නිවාස මිළදී ගැනීමට, ඉඩකඩම් මිළදී ගැනීමට, ඇතුලු මෙකී නොකී කටයුතු වෙනුවෙන් විශාල මුදලක් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ද ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි..
එමෙන්ම හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට සහය දැක්වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කුඩු සළිදු නැමැත්තාගෙන් කොස්තාපල්වරයකු මීට පෙර රුපියල් කෝටි 13 ක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.
කුඩු සළිදු මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත කළ පැමිණිල්ලක් අනුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් මෙම විමර්ශනය සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.
මූලාශ්‍රය – ලංකාදීප
සබැඳි පුවත් :
හරක් කටා පන්නන්න භාවිත කළ දුරකථන 2ක් සොයාගනියි
හරක් කටා ඉන්දියාවට පන්නන්න හැදූ අයෙක් මාට්ටු වෙලා