Connect with us

පුවත්

හිරුණිකා ඇප ඉල්ලයි

Published

on

තරුණයෙකු පැහැර ගැනීම පිළිබඳ සිද්ධියකට වරදකරු වී බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,  කොළඹ මහාධිකරණ වෙත ඇප  අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

ඇය සිදු කළ  වරද සම්බන්ධයෙන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැනටමත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බැවින්, ඇප පනත ප්‍රකාරව ඇයට ඇප ලබා දෙන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරන ලදී.

චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කලේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කලේය..

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වේ.

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කරන ලදී.

මෙම නඩුව අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවීම සිදුවිය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහ්තා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් විරෝධය පළ කර ඇති බව  ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

වැඩිදුරටත් සඳහන් වෙන්නේ, මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියෝග කර ඇත බවය. 

Continue Reading

පුවත්

“කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට්, විදෙස් සිසුන්ට විතරයි”

Published

on

By

මෙම වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේ කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  2025- 2026 කණ්ඩායම සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීමක වගන්ති නිවැරදි කිරීමක් සිදු කළ යුතුව ඇති බවය.

ඒ අනුව, 2025- 2026 අධ්‍යයන වර්ෂය සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව කැඩෙට් නිලධාරීන්ට සහ විදෙස් සිසුන්ට පමණක් හිමි වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට පසුගිය රජය මඟින් කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම් මත පමණක් වෛද්‍ය උපාධිය ලබා දීමේ පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමිනි.

ඒ අනුව, 2024 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්ව විද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට (Z, Score) අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබූ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත එලෙස වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන තිබුණි.

කෙසේවෙතත්, මේ වසරේ සිට කැඩෙට් භටයන්ට සහ විදෙස් සිසුන්ට පමණක් කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව ලබා දීමට වත්මන් රජය තීරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved