ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්,නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2223ක් පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය විසින් ඊයේ දින(12) දින රාත්‍රී කාලයේ පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් 70ක අසුරන ලද බීඩි කොළ කිලෝ 2223 ග්‍රෑම්100ක් පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කර ඇත.
තවද මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරුපැදියක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර පසුව එම යතුරුපැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝ 2223 ග්‍රෑම්100ක පමණ ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.