Connect with us

පුවත්

අක්කර 36,000ක් අලුතින් පොල් වගා කිරීමට සැලසුම්

Published

on

මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත්, ඉතිරි අක්කර 20,000
අනෙකුත් ප්‍රදේශවලටත් අයත් වන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතීත්වයෙන්
2025.03.05 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාද මෙම
අවස්ථාවට එක්ව සිටියේය.

පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5 ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. තවද
දැනට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත
පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීම සිදුකරමින් පවතින බවත්, එමගින් අක්කර පහට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ අනුව එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රු. 9500ක් වන කි.ග්‍රෑම් 50 පොහොර මිටිය රු. 4,000 ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක නිවාස 10,000 ව්‍යාපෘතිය යටතේ මේ වසරේදී වතු ආශ්‍රිත නිවාස 4,700ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවත්
මෙහිදී අනාවරණය විය. අමාත්‍යවරයා අවධාරණය කළේ මීට පෙර නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන හිතවත්කම් මත සිදුවී ඇති බවට
කරුණු වාර්තා වුවද මෙවර කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රමුඛතාවය මත වඩාත් විනිවිදභාවයකින් එම කටයුතු සිදුකරන බවයි. මෙහිදී නායයෑමේ අවධානම සහිත ප්‍රදේශවල පිහිටි නිවාසවල ජීවත්වන ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. තවද වතු නිවාස වැඩිදියුණු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දේශීය අරමුදල්වලින් රු.මිලියන 1,300ක් වැය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් කාරක සභාවට හදුන්වාදෙමින් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින වැවිලි සමාගම්වල ඌන උ‍පයෝජන ඉඩම් හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට හදුනාගෙන ඇති බවත් ඒවා ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවත් ය.

එසේම 2024 වසරේදී මෙරට මුළු තේ නිෂ්පාදනය කි.ග්‍රෑ. මිලියන 262 කට ආසන්න බවත් 2025 වසර සඳහා එම ඉලක්කය තේ කි.ග්‍රෑ. මිලියන 275ක් බවත් ලේකම්වරයා පැවසීය. තවද ලෝකයේ ප්‍රථම රබර් පර්යේෂණායතනය ස්ථාපිත කළ මෙරට රබර් අපනයනයේ අඩුවක් සිදුව ඇති ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා 2025 වසර සඳහා එම ඉලක්කය රබර් කි.ග්‍රෑම් මිලියන 78ක් බවත් සඳහන් කළේය. එසේම 2025 වසරේදී මෙරට පොල් වගාව සඳහා
ඉලක්කය පොල් ගෙඩි මිලියන 2875 ක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම ග්‍ලයිෆොසේට් වැඩි වශයෙන් යෙදීම ඇතුළු හේතු නිසා ශ්‍රී ලංකාවේ තේ සහ කුරුදුවල ඉහළ ගුණාත්මක බව අඩුවීමේ තර්ජනයක් පවතින බවත්
ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්බවත් මෙහිදී සාකච්ඡා විය.

තේ පොහොරවල ප්‍රමිතිය, කජු වගාවේ ප්‍රවර්ධනය ඇතුළු මෙම අමාත්‍යාංශයට අදාළ වන ගැටලු මෙහිදී මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළහ.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු
මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට

Published

on

By

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවය.

රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස්රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved