Connect with us

පුවත්

අක්කර 36,000ක් අලුතින් පොල් වගා කිරීමට සැලසුම්

Published

on

මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත්, ඉතිරි අක්කර 20,000
අනෙකුත් ප්‍රදේශවලටත් අයත් වන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතීත්වයෙන්
2025.03.05 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාද මෙම
අවස්ථාවට එක්ව සිටියේය.

පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5 ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. තවද
දැනට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත
පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීම සිදුකරමින් පවතින බවත්, එමගින් අක්කර පහට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ අනුව එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රු. 9500ක් වන කි.ග්‍රෑම් 50 පොහොර මිටිය රු. 4,000 ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක නිවාස 10,000 ව්‍යාපෘතිය යටතේ මේ වසරේදී වතු ආශ්‍රිත නිවාස 4,700ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවත්
මෙහිදී අනාවරණය විය. අමාත්‍යවරයා අවධාරණය කළේ මීට පෙර නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන හිතවත්කම් මත සිදුවී ඇති බවට
කරුණු වාර්තා වුවද මෙවර කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රමුඛතාවය මත වඩාත් විනිවිදභාවයකින් එම කටයුතු සිදුකරන බවයි. මෙහිදී නායයෑමේ අවධානම සහිත ප්‍රදේශවල පිහිටි නිවාසවල ජීවත්වන ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. තවද වතු නිවාස වැඩිදියුණු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දේශීය අරමුදල්වලින් රු.මිලියන 1,300ක් වැය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් කාරක සභාවට හදුන්වාදෙමින් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින වැවිලි සමාගම්වල ඌන උ‍පයෝජන ඉඩම් හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට හදුනාගෙන ඇති බවත් ඒවා ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවත් ය.

එසේම 2024 වසරේදී මෙරට මුළු තේ නිෂ්පාදනය කි.ග්‍රෑ. මිලියන 262 කට ආසන්න බවත් 2025 වසර සඳහා එම ඉලක්කය තේ කි.ග්‍රෑ. මිලියන 275ක් බවත් ලේකම්වරයා පැවසීය. තවද ලෝකයේ ප්‍රථම රබර් පර්යේෂණායතනය ස්ථාපිත කළ මෙරට රබර් අපනයනයේ අඩුවක් සිදුව ඇති ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා 2025 වසර සඳහා එම ඉලක්කය රබර් කි.ග්‍රෑම් මිලියන 78ක් බවත් සඳහන් කළේය. එසේම 2025 වසරේදී මෙරට පොල් වගාව සඳහා
ඉලක්කය පොල් ගෙඩි මිලියන 2875 ක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම ග්‍ලයිෆොසේට් වැඩි වශයෙන් යෙදීම ඇතුළු හේතු නිසා ශ්‍රී ලංකාවේ තේ සහ කුරුදුවල ඉහළ ගුණාත්මක බව අඩුවීමේ තර්ජනයක් පවතින බවත්
ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්බවත් මෙහිදී සාකච්ඡා විය.

තේ පොහොරවල ප්‍රමිතිය, කජු වගාවේ ප්‍රවර්ධනය ඇතුළු මෙම අමාත්‍යාංශයට අදාළ වන ගැටලු මෙහිදී මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළහ.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු
මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved