Connect with us

පුවත්

අඩුවට තෙල් විකුණන්න අලුත් සමාගම් 3කට අවසර

Published

on

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.

මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත.

මෙරටට පැමිණෙන විදේශ සමාගම් තුනට නියමිත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වලට ඇති ඉල්ලුම අඩු වී රජයේ ඉන්ධන බිල පහළ යා හැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

වර්තමානයේ රජය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් මසකට ඉන්ධන වෙනුවෙන් වැය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සමාගම් තුනෙන් එක් එක් සමාගම මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ඉන්ධන මෙරටට ගෙන්වනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් රජයේ ඉන්ධන බිල අඩුවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත .

මෙම තීරණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත් නමුත් එය පාරිභෝගිකයාට වාසිදායක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතයෙන් එම සමාගම් වැළකී සිටිය යුතු බවත් සමාගම් ලබන ලාභය මෙරටින් පිටතට ගෙන යා හැක්කේ වසරකට පසුව පමණක් බවත් ගිවිසුමේ කොන්දේසි වලට ඇතුලත් වන බව පැවැසෙයි.

සමාගම් තුන එකතු වී වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක ඉන්ධන මෙරටට ආනයනය කරනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් භාණ්ඩාගාරයේ බර සැහැල්ලු වන බවත් පැවැසෙයි.

ගිවිසුම අවුරුදු 20 ක් සඳහා වන බවත් එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.

අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් මත දිගටම මෙහෙයුම් සිදු කළ හැකි බවද පැවැසෙයි.එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් ගෙවනු ඇති බවත් ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ගිවිසුම් යටතේ, සුඛෝපභෝගී වාහන භාවිතා කරන සුපිරි ප්‍රමිතියෙන් මිල අධික නිෂ්පාදන අලෙවි කිරීමටද එම සමාගම් වලට අවස්ථාව ලබා දී ඇත.

(ලංකාදීප)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved