පුවත්

අත්තිඩිය රක්ෂිතයට කුණු දැමුවාට කොස්තාපල්ගේ වැඩ තහනම්

Published

on

සිය නිල බලය අයුතු ලෙස යොදාගෙන ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් අත්තිඩිය වන රක්ෂිතයට බැහැර කළ සිද්ධියකට සම්බන්ධ යැයි කියන දෙහිවල පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

මෙම පොලිස් කොස්තාපල්වරයාට අයත් ට්‍රැක්ටරයක් යොදාගෙන, වෙනත් රියදුරකු සහ තවත් පුද්ගලයකු මගින් මෙම ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් තොගය අත්තිඩිය රක්ෂිතයට මුදා හරිමින් සිට ඇතැයි දෙහිවල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එම අවස්ථාවේ ට්‍රැක්ටරය පැදවූ රියදුරා සහ සහායකයා වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය සඳහන් කරන්නේ මෙම කොස්තාපල්වරයා විසින් ටැක්ටරය තමාගේ නොවන බවත් එය බදු පදනම මත ලබා දුන් එකක් බවත් සඳහන් කර පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇප මත මුදා හැර සිටී රියදුරාට බලපෑම් කර ඇති බවයි.

රියදුරා විසින් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශනයක් පවත්වා මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.

Trending

Exit mobile version