සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින් කාණ්ඩ 40 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ ඖෂධ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
ඖෂධ නිෂ්පාදන සංස්ථාව සපයන ඖෂධවල තත්වය පිළිබඳව ඇති ගැටලු මග හැර සිටීමට වඩා එය නිවැරදි කර ගැනීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව කී කුමුදේෂ් මහතා පැවසුවේ වැඩි ඖෂධ කාණ්ඩ ප්‍රමාණයක් නතරකර ඇති තනි සැපයුම්කරු ලෙස රජයේ මැදිහත් වීමෙන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයට වගකීම පැවරෙද්දී ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතු බවත්ය.
දේශීය ඖෂධ නිෂ්පාදන සහ ඉන්දියානු නිෂ්පාදන පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කරමින්, යුරෝපයේ ඖෂධ පමණක් ගෙන්වීමේ තීන්දුවක් ගැනීමට ඇතැම් අය උත්සාහ කරන බව කී කුමුදේෂ් මහතා ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ඇමරිකාව සහ යුරෝපා රටවලට ඉතා විශාල වශයෙන් තත්වයෙන් උසස් ඖෂධ අපනයනය කරමින් සිටියදී එම රටවලින් බාල ඖෂධ පමණක් මෙරටට ලැබීම තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් මිස, රට පිළිබඳ ගැටළුවක් නොවන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය මැදිහත් වීමෙන් රටට ඖෂධ සැපයෙන ආයතනයේ නිෂ්පාදන පිළිබඳ ගැටළුවක් ඇත්නම් එය කළමණාකරණ ගැටළුවක් මිස රටේ නොහැකියාව පිළිබඳ ගැටළුවක් නොවන බවත් මෙරට ආර්ථික අර්බුදයට අදාලව තීන්දු ගනු ලබන්නේනම් දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.