Connect with us

පුවත්

අතුරුගිරියෙන් T56 ජීවඋණ්ඩ 50ක්

Published

on

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ.

සැකකරු ඉකුත් 12 වනදා අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

රඳවා තබාගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (17) දින මෙම ජීවඋණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

පුවත්

පහේ ශිෂ්‍යත්වය අහෝසිද ?

Published

on

By

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසා සිටියාය.

අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

“ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වයේ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

Continue Reading

පුවත්

A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන්  සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී. එහිදී අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.

එය දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 ජූනි 04 පෙ.ව.7.12 )

ශ්‍රීලන්කන් ගුවන් යනා ඇණියට අද එයාර්බස් A330-200ක් යානයක් එක් වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ ගුවන් යානය උදෑසන 8.00 සිට 9.00 අතර කාලයේ, අඩි 1,000ක පමණ උසකින් කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට ද නියමිත බව පැවසේ.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන්යානය, මෙරට ගුවන්යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

අනතුරුව ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන්තොටුපොළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගුදුර හා කෙටිදුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතු වන මෙම ගුවන්යානය පළමු වරට පැමිණීම දැක ගැනීමට ලැබීම ගුවන්යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

සෑම පාසල් සිසුවෙකුටම දත්ත ගොනුවක්

Published

on

By

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට නියමිත බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන පරිවර්තය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

ජාතික උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු  දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහි දී යෝජනා කළ බව පැවසේ.

2026 වර්ෂයේ දී සිදුකරන අධ්‍යාපන පරිවර්තයට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේ කටයුතු පහසු කර ගැනීම, ගුරු සහ විදුහල්පති  පුරප්පාඩු හදුනාගැනීම, පත්වීම් ලබාදීම, උසස් කිරීම, ස්ථානමාරු සිදු කිරීම, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය මගින් හැකි වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා තිබේ.

ලබන වසරේ සිට පළමු වසරට සහ හයවන වසරට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරීමටද මෙහි දී සාකච්ඡා කර ඇත.

ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබා දෙනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved