කැබිනට් අමාත්‍යංශ 24 න් 13කටම වඩා විශාල අයවැයක් ඇති කොළඔ නගර සභාවේ බලය ලබා ගැනීමට මේවන විට ආණ්ඩුවත් විපක්ෂයත් දැඩි උත්සාහයක යෙදී සිටිය ද එම දෙපාර්ශවයම එම නගර සභාව තුළ ඇති දූෂිතම ගනුදෙනුව සේ සැලැකෙන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම කාණ්ඩ දෙකට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම් ඊට සහය දැක්වීම සම්බන්ධයෙන් දෙගිඩියාවක පසුවන බව පැවසේ.
කොළඹ නගර සභාවේ 2023 වසරේ ආදායම රුපියල් මිලියන 15,77ක් වන අතර, එහි වියදම රුපියල් මිලියන 12,735කි.
මේ වියදමින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ කොළඹ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන අතර එය රුපියල් මිලියන 3,800කි.
මේ කළමනාකාර කටයුතුවලින් වැඩි කොටසක් සිදු කිරීමේ කොන්ත්‍රාත්තු ලබාගෙන ඇත්තේ පෞද්ගලික ආයතන 2ක් වන අබාන්ස් හා ක්ලීන් ටෙක් විසින් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කොළඹ නගර සභාව පරිපාලනය කරනු ලබන්නේ කොටස් 5කට බෙදා වන අතර ඉනුත් අදාළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පවරා ඇත්තේ අදාළ සමාගම් දෙකට මේසා විශාල මුදලක් ගෙවනු ලබන්නේ කොටස් දෙකක ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහාය.
මෙය දූෂිත ගනුදෙනුවක් බව පසුගිය කාලයේ දී රෝසි සේනානායක මහත්මිය විසින් එහි නගරාධිපති ධූරය දරණ සමයේදී එවක නාගරික කොමසාරිම්වරිය ලෙස කටයුතු කළ නීතීඥ රොෂිනී දිසානායක මහත්මිය 2021-02-07 දින “කොළඹ නගර සභාවේ සිදුවන මූල්‍ය වංචා හා අක්‍රමිකතා වැලැක්වීමට කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු” යන සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබූ ලිපියෙන් හෙළිව තිබිණි.එම ලිපියේ මෙසේ දක්වා තිබිණි.
“ඝණ අපද්‍රව්‍ය කළමනාකාරණය සඳහා අබාන්ස් හා ක්ලීන් ටෙක් ආයතනය අතර ඇතිකරගත් ගිවිසුම් නිසා සභාවට බරපතල මූල්‍යමය පාඩු සිදුවන බව දැන් සනාථ වී ඇත. එම ගිවිසුම් ඇතිකරගන්නා අවස්ථාවේදී මා විසින් සහ නාගරික භාණ්ඩාගාරික විසින් ලිඛිතව සභාව වෙත කරුණු පැහැදිළි කරන ලදී. නමුත් එම කරුණු සම්බන්ධයෙන් ව්‍යාජ තර්ක ඉදිරිපත් කර කොන්ත්‍රාත් ප්‍රදානය කරන ලදී.
කොළඹ නගරයේ එක් රැස්වූ කැලිකසල පිළිබඳ දත්ත, කෙරවල පිටිය වේස් ටු එනර්ජි ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ සැලැකිය යුතු ලෙස අඩුවී ඇත. පුමාණය අඩුවූවත් ගිවිසුමේ දෝශ නිසා සභාවට කිසිදු වාසියක් අත්නොවේ.”
ඇය අදාළ ලිපිය මගින් තවදුරටත් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ කොළඹ නගරයේ එක්රැස්වන කැලිකසල වලින් 50%ක් සදහා සමස්ත වරිපනම් ආදායමින් 55%ක් අදාල සමාගම් දෙක සඳහා පමණක් වැයවන බවයි.
මූලාශ්‍රය – අනිද්දා