පුවත්

අනිල් මොහාන්ලා LPL කණ්ඩායම් හිතුමතේට යළි තක්කඩියන්ට විකුණලා?

Published

on

ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් T20 ලීගය දෙසැම්බර් මස 6 දා ආරම්භ කෙරෙන බවට නිවේදනය කළත් මේ දක්වා එහි කණ්ඩායම් පහේ අනුග්‍රාහකයන් හෙවත් කණ්ඩායම් අයිතිකරුවන් සොයා ගැනීමේ ගැටළුවක් පැන නැගී ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG සමාගම අතර වසර පහක් සඳහා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් අනුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව එම ගිවිසුම 2024 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වන විට තරගාවලි තුනක් පවත්වා ඇත.

කෙසේ වෙතත් IPG සමාගමේ ප්‍රධාන විධායක අනිල් මොහාන් පවසන පරිදි මෙය පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටය.

මුල් තරගාවලියෙන් ඩොලර් මිලියන 2.4 ක ( රුපියල් මිලියන 500 ක) පාඩුවක් ලැබූ බව පවසන ඔහු ක්‍රීඩකයන් පීසීආර් පරීක්ෂණ වලට යෙදවීම හා යෙදුනු අමතර වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 31’ක් ක්‍රිකට් ආයතනය විසින් අඩු කරනු ලැබුවත් 2024 තෙක් පවත්වනු ලබන තරගාවලි වලින් ලබන්නට බලාපොරොත්තු වන ලාභයෙන් ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුළු මුදල ගෙවීමට නියමිත බවත් වාර්තා වේ.

පසුගිය තරගාවලි වල යාපනය, දඹුල්ල හා කොළඹ  කණ්ඩායම් අනුග්‍රාහකයන් සමග පැවති මත ගැටුම් හා විවිධ ප්‍රශ්න හේතුවෙන් ඒවායේ අනුග්‍රාහකයන් වරින් වර මාරුකරනු ලැබීය.

දඹුල්ල කණ්ඩායම වරක් මිළදී ගත් පුද්ගලයා ඉන්දීය පොලිසිය මගින් මුදල් විශුද්ධිකරණය යටතේ අත් අඩංගුවට ගන්නා ලදී.

මෙසේ කණ්ඩායම් මිළදී ගන්නා පුද්ගලයන් පිළිබඳව සොයා නොබැලීම මත ගැටලු රැසක් පැන නැගී තිබියදී ක්‍රිකට් ආයතනයද හරි හැටි දැනුවත් නොකර අනිල් මොහාන් කණ්ඩායම් අලුත් ගැනුම්කරුවන්ට විකුණන බවටද චෝදනා එල්ල වී තිබේ.

පසුගිය සමයේ ඇතැම් කණ්ඩායම් අයිතිකරුවන් ක්‍රීඩකයන්ට පොරොන්දු වූ මුදල් හා හෝටල් ගාස්තු පවා නොගෙවා කට්ටි පනිමින් සිටි බවත් කියවේ.

මේ අතර කොතරම් ආරක්ෂා විධි විධාන තිබුණත් තරග පාවා දීම් සිදුවූ බව ක්‍රීඩකයන්ම පවසා තිබේ.

අනිල් මොහාන් විසින් ක්‍රිකට් ආයතනයටත් ප්‍රිමියර් ලීගයටත් ඉන්දීය ඔට්‍ටු වෙබ් අඩවි වලින් අනුග්‍රාහකයන් ලබා ගැනීම පිළිබඳවද ගැටලු පැන නැගී ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාද මේ ගැන ප්‍රශ්න කළේය.

Trending

Exit mobile version