Connect with us

පුවත්

අනුරගෙන් මෝදිට ඇමතුමක්

Published

on

පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමිනි.

විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූහ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පැවසීය.

එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

රිළා සමීක්ෂණය අධ්‍යයනය කරනවා

Published

on

By

බෝගවලට හානි කරන වන සතුන් සම්බන්ධ සමීක්ෂණයේ දත්ත සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත නැවත සමීක්ෂණය කරමින් අධ්‍යයනය කරමින් සිටින බව නියෝජ්‍ය පරිසර ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

පරිසර අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

බෝගවලට හානි කරන ලද රිළවා, වඳුරා ආදී සතුන් සම්බන්ධව කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රමාදවීම සම්බන්ධව මාධ්‍යවේදියකු කරන ලද විමසීමේදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සමීක්ෂණයකදී ලැබෙන දත්තවල නිවැරදිතාව සම්බන්ධව නැවත නැවත පරීක්ෂා කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

මාධ්‍යවේදියා – ඒ කියන්නේ නැවත වරක් ප්‍රාදේශීය වශයෙන් නැවත සමීක්ෂණයක් සිදුවෙනවාද?

නියෝජ්‍ය ඇමැතිවරයා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු නොවූ දත්ත මෙහි තිබෙනවා. ඒ දත්තය පිළිබඳව පසු විපරමක් කරන්න සිදුවෙනවා.

මාධ්‍යවේදියා – නැවතත් ගෙවල්වලට ගිහින් ගස්වල ඉන්න වඳුරෝ ප්‍රායෝගිකව ගණන් කරනවාද?

නියෝජ්‍ය ඇමැතිවරයා – නැවත සමීක්ෂණයක් නොවෙයි සිදුවන්නේ. නැවත මෙවැනි සමීක්ෂණ කීපයක් කළොත් ඉතා හොඳයි කියලා මම පුද්ගලිකව හිතනවා. ස්ථානීය පරීක්ෂණයක් සිදුවෙන්නේ නෑ.

මාධ්‍යවේදියා – මුලින් සැලසුම් කළා මේ රිළවු වික්ටෝරියා ප්‍රදේශයේ දූපතකට ගිහින් දානවා කියලා. අද උදෑසන වාර්තාවක් පළවෙනවා මාතලේ ප්‍රදේශයේ හෙක්ටයාර් 150ක භූමි ප්‍රදේශයක් වෙන්කළා කියලා. මොකක්ද අලුත්ම තත්ත්වය. ඔබතුමා දැනුවත්ද?

මෙහිදී අදහස් දැක්වූ පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා,

“වනජීවීන්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළැක්විය යුතුයි. රජයක් ලෙස ඊට අදාළ ක්‍රියාමාර්ග තේරිය යුතුයි. තවමත් මේකයි නිශ්චිත ක්‍රියාමාර්ගය බවට තේරීමක් සිදුවෙලා නෑ. එවැනි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තියෙනවා. අපිට මෙහිදී කිසියම් අදහසක් තිබිය යුතුයි.

ඒ අදහස ලබාගන්න තමයි සමීක්ෂණයක් සිදුකළේ. මෙම සමීක්ෂණය පහසු දෙයක් නොවෙයි. මෙවැනි සමීක්ෂණයකදී අඩුපාඩු සිදුවන්න පුළුවන්. මෙහි ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදී පරස්පරතා ගැන සොයා බැලිය යුතුයි. ඊට කාලය ගන්න වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී මට්ටමෙන් වගා ආරක්ෂණ කමිටු පිහිටුවා තිබෙනවා. ඒ අනුව, වන සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව ගන්නා පියවර එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් තීරණය කරනවා. මේ වැඩපිළිවෙළ සියයට 40ක් පමණ සාර්ථකයි. සතුන් කූඩු කරලා දූපතකට දැමීම තවත් දිස්ත්‍රික්කයක ගත් තීරණයක්. යම් වැඩපිළිවෙළක් අසාර්ථක වුණොත් අපිට තියෙන්නේ ඒක සම්බන්ධව සොයා බලා වෙනත් ක්‍රියා මාර්ගයකට යාමයි. මීට පෙරදී මාතලේ දිස්ත්‍රික්කයේ රිළවුන් වඳ සැත්කම්වලට ලක් කරන්න තීරණය කළා. නමුත්, වෛද්‍යවරුන් සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා එය සාර්ථක වූයේ නෑ. මේ වන සතුන්ගෙන් සිදුවන හානිවලට අපි ක්‍රියාමාර්ග තෝරනවා. අපි කලින් නොදන්නා හේතු නිසා ඒවා අසාර්ථක වෙන්න පුළුවන්’

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

රටපුරා පොසොන් දන්සල් 19,185 ක්

Published

on

By

2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය සඳහන් කරයි.

එම ලියාපදිංචි ලේඛණයට අනුව 

  • කොළඹ 944 ක්, 
  • ගම්පහ 1792 ක්, 
  • කළුතර 977 ක්, 
  • නුවර 1264 ක්, 
  • මාතලේ 812 ක්, 
  • නුවරඑළිය 352 ක්, 
  • ගාල්ල 1186 ක්, 
  • මාතර 1021 ක්, 
  • හම්බන්තොට 533 ක්, 
  • යාපනය 03 ක්, 
  • කිළිනොච්චි 03 ක්, 
  • මුලතිව් 17 ක්, 
  • වවුනියා 21 ක්, 
  • මන්නාරම 02 ක්, 
  • මඩකළපුව 09 ක්, 
  • අම්පාර 584 ක්, 
  • කල්මුණෙයි 14 ක්, 
  • ත්‍රීකුණාමලය 152 ක්, 
  • කුරුණෑගල 2114 ක්, 
  • පුත්තලම 731 ක්, 
  • අනුරාධපුර 2301 ක්, 
  • පොළොන්නරුව 650 ක්, 
  • බදුල්ල 968 ක්, 
  • මොණරාගල 716 ක්, 
  • රත්නපුර 1097 ක්, 
  • කෑගල්ල 922 ක් වශයෙන් දිවයින පුරා දන්සල් සංවිධාන කර ඇත.

“ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත දන්සලක් සංවිධානය කිරීම සඳහා සවිස්තරාත්මක මාර්ගෝපදේශ” ශීර්ෂය යටතේ 2025.05.06 දිනැති ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබීය.

එම මාර්ගෝපදේශ මාලාව තුළ සෞඛ්‍ය බලධාරීන් සමග දන්සල් ලියාපදිංචිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තොරතුරු රැස් කිරීම, ආහාර පිළියෙල කරන්නන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහතික කිරීම, ආහාර හසුරුවන්නන් විසින් පිළිපැදිය යුතු අත් පිරිසිදුව තබාගැනීම හා සම්බන්ධ සනීපාරක්ෂක පිළිවෙත්, ආහාර හසුරුවන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය, භාවිත කරන අමුද්‍රව්‍ය, ආහාර පිළියෙල කිරිම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ආහාර සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය, ආහාර සනීපාරක්ෂාව සහ සුරක්ෂිත පරීක්ෂාව ආදී කරුණු ඇතුළත් කර තිබේ.

දන්සල් ක්‍රියාත්මක කිරිම ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවධානම සමඟ සම්බන්ධ වී ඇති බවත්, ප්‍රධාන වශයෙන් නුසුදුසු ආහාර සැකසීමේ ක්‍රම, නුසුදුසු ගබඩා කිරීම සහ සනීපාරක්ෂක පිළිවෙත් නොමැති කම ඊට හේතු සාධක වන බවත්, නිසි ආහාර සනීපාරක්ෂක පිළිවෙත් සහතික කිරිම මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සදහා අත්‍යාවශ්‍ය බවත් ආරක්ෂිත සහ සෞඛ්‍ය ආරක්ෂිත දන්සලක් සංවිධානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Continue Reading

පුවත්

2025 මුල් මාස 05ට බිලියන 98ක සුරාබදු ආදායමක්

Published

on

By

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන්නේ, රු. බිලියන 242ක් වන අතර 2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් එනම් බිලියන 98ක් උපයාගත හැකිවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේ පසුගියද 06 වනදා ඒ  පැවසූහ.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීම‍ට අපේක්ෂා කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

නව රජය බලයට පත්වීමත් සමග නීතිවිරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වනවිටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් සුරාබදු නිලධාරීන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේදී සඳහන් කර ඇත.  

මුදල් සහ ක්‍රම සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් 2025.06.06 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය  ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභාව රැස්විණි.

මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා (App) ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හදුනා ගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විමසා සිටියේය.

එම වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරිහු පැවසූහ.

2024 අග භාගයේදී හදුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු, මීට පෙර සිදු වූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම් වලදී හමු වී නැති බවත් නිලධාරීහු සඳහන් කළහ.

මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි සීමාවී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙල ඉදිරියේදි සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

එසේම මෙම නව ක්‍රමවේදය මගින් සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසැල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේද යන්න හදිසි වැටලීම් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට අවධාරණය කරන ලදී.

සුරාබදු පනතේ පවතින අඩුලුහුඩුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

මත්පැන් මිල ඉහළයාම නිසා නීතිවීරෝධි මත්පැන් පරිභෝජනය වැඩිවීම සිදුවන බැවින් ඊට විසදුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

දියුණුව කරා යන ගමනේදී මේ වන විට  ශ්‍රී ලංකාව සංධිස්ථානයක පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, බදු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා සෑම පුරවැසියෙක්ම සම්බන්ධ විය යුතු බවත් එසේ එක්රැස්කරන බදු රුපියලකුදු නාස්ති නොකර රටේ සංවර්ධනය සඳහා යොදවන  බවත් අවධාරණය කළේය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved