ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් ලෙස චීනයෙන් මෙරටට ලැබී තිබෙන හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ආයෝජනය ගැන 2015 පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද සාකච්ජා සිදුකෙරුණ නමුත් ඊට ජනතා විමුක්ති පෙරමුණෙන් විශාල විරෝධයක් ඇති කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එම ආයෝජනයම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේත්,රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේත් සිදුකිරීමට උත්සහ කළද එම සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේය.
කෙසේ නමුත් ප්‍රමාද වී හෝ එම ආයෝජන ව්‍යාපෘතිය රටට ගෙන ඒම ගැන සතුටු වන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.
”ඔය ආයෝජනයම 2015ට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමයේ සාකච්ජා කරන කොට දරුණු විදිහට විවේචනය කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේත් නැවත මේ ව්‍යාපෘතිය කරන්න උත්සහ කරද්දී එතුමන්ලා කිව්වේ මේක අපි චීන කොලනියක් කරන්න යනවා කියල. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ කංචන විජේසේකර ඇමතිවරයාත් ඒ කැබිනට් පත්‍රය දැම්මා. එදා දරුණු විදිහට චීන යෝජනා විවේචනය කරපු ගරු අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමා අද ඒ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. පරක්කු වෙලා හරි ලංකාවේ විශාලතම ආයෝජනය ගෙන ඒම පිළිබඳව සතුටුයි.”.