පුවත්

අනුර ජපානය බලා යයි !

Published

on

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සිය ජපන් සංචාරය සඳහා ඊයේ (18) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටව ගිය බව වාර්තා වේ.

ඔහු මෙලෙස ජපානය බලා පිටත්ව ගියේ, ජාතික ජන බලවේගය විදෙස් කමිටු විසින් සංවිධානය කරන විදේශගත ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ජන හමු මාලාවේ ජපන් ජන හමුවට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ලබන ඉරිදා (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ලාංකිකයන් ඇමතීමේ ජන හමුව පැවැත්වෙන අතර ලබන සඳුදා (22) ජපානයේ සිටින ව්‍යාපාරිකයින්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව ජපානයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

මේ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක නමින් ක්‍රියාත්මක නිල යූ ටියුබ් නාලිකාවේ subscribers සංඛ්‍යාව ලක්ෂය (100k) ඉක්මවා ගොස් තිබේ.

අනුර දිසානායක නිල ෆේස්බුක් පිටුවේ සටහනක දැක්වෙන්නේ `දහසකුත් එකක් යූ ටියුබ් නාලිකා අතරේ ජාතික පුනරුදයක් වෙනුවෙන් වූ දේශපාලනයේ දිශානතිය සමග ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා පෙළගැසෙනු දැකීම සතුටක්’ බවය.

“ඔබගේ උද්‍යෝගී දායකත්වය රට ගොඩනැගීම වෙනුවෙන් ලැබෙනු දැකීමේ අපේක්ෂාව ඊටත් වඩා සතුටකි. ඉදිරියටද අප සමග අත්වැල් බැඳ ගන්න! අපි එක්ව මේ රට ගොඩනගමු!!” මේ පිළිබඳව වැඩිදුරටත් එහි සඳහන් වේ.

මීට සතියකට පෙර අනුර කුමාර දිසානායක නාලිකාව තුළ AKD LIVE 24 නමින් පැය 24 පුරා දිවෙන සජීවී විකාශයක්ද ආරම්භ කර තිබූ අතර ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු විසින් මෙවැනි යූ ටියුබ් සජීවී විකාශයක් ආරම්භ කර තිබුණේ පළමු වරටය.

Trending

Exit mobile version