Connect with us

පුවත්

“අනෙක් අය සපත්තු හොයද්දි මම සෙරප්පු දාගෙන ගිහින් ආණ්ඩුව බාරගත්තා”

Published

on

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී අද (04) දහවල් පැවති ජන හමුවකට එක්වෙමිනි.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ජනතාව වෙනුවෙන් රජය මෙතරම් සහන ලබාදෙන්නේ කෙසේද කියා අද ඇතැම් අය ප්‍රශ්න කරනවා. උරුමය, අස්වැසුම මෙන්ම ජනතාවට නොමිලේ සහල් ලබාදීම වැනි වැඩසටහන් මෙම බංකොළොත් බව ප්‍රකාශ කෙරුණු ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන ප්‍රශ්නය සියලුදෙනාට තිබෙනවා. මොකද රටේ ආර්ථිකය යහපත්ව පැවති කාලයේ මේවා ක්‍රියාත්මක කළේ නැහැ.

ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිකිරීමක් සිදු කිරිමට අප කටයුතු කළා. 2015 වසරෙන් පසු එවැනි වැටුප් වැඩිකිරීමක් සිදු වූ දෙවන අවස්ථාව එයයි. ඒ අනුව රජයේ සේවකයන් වෙනුවෙන් මෙතරම් වැටුප් වැඩිවීමක් සිදු වූයේ මෙරට ඉතිහාසයේ දෙවතාවයි. ඒ නිසා ආණ්ඩුව ජනතාවට මෙම සහන ලබාදෙන්නේ කෙසේද යන්න සියලුදෙනාගේ විමතියට කරුණක් වී තිබෙනවා.

අපි භාරගත්තේ ඉතා අසීරු තත්වයක තිබු රටක්. අනිත් නායකයන් ධාවන සපත්තු දැමු කාලයේ අපි සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා. එසේම අපි නිසි ප්‍රතිපත්තියක් අනුව වැඩ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගත්තා. වසර දෙකක් තුළ ආර්ථිකය ගොඩනැඟීමේදී ඉතා අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. බදු වැඩිකිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් එසේ කළහොත් ආර්ථිකය ගොඩගත හැකි බව අපි විශ්වාස කළා.

එතැන් සිට පළමු වතාවට දේශපාලනය නැති ආණ්ඩුවක් ලංකාවට තිබුණා. සෑම පක්ෂයක්ම එහි සිටියා. පක්ෂ අනුව බෙදීමක් තිබුණේ නැහැ. බෙදීම තිබුණේ හැකියාව සහ විශ්වාසය අනුව පමණයි. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එක ආසනයක් පමණක් තිබූ පක්ෂයකින් ජනාධිපතිවරයෙක් බිහි වන්නේ නැහැ. රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට මම එදා සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටියා. පිරිසක් අපට සහාය ලබා දුන්නේ නැහැ.

නමුත් මම සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගියා. පළමු වතාවට දේශපාලනය නැති කැබිනට් මණ්ඩලයක් නිර්මාණය වුණා. අප පක්ෂ බේදයකින් තොරව රටේ ආර්ථිකය ගොඩගැනීමට කැප වුණා.

අප සිටින්නේ සියලුදෙනා පටු සංකල්පවලින් තොරව එකට එක් විය යුතු කාලයකයි. අප තවම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. ඉන්ධන, පොහොර ලැබුනට හොඳ අස්වැන්නක් ලැබුනට අප තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙලා නැහැ. මේ වසර අවසන් වීමට පෙර බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඒ නිසා අපේ ආර්ථික ඉලක්ක අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇතිකරගෙන තිබෙනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි. ඒ නිසා අපි සියලුදෙනාම මෙම අවස්ථාවේ දේශපාලනය පසෙක තබා රට දියුණු කිරීමට වැඩ කළයුතුයි. එංගලන්තය දෙවැනි ලෝක යුද්ධය කළා වගේ අප සියලුදෙනා එක්ව එම අභියෝගයට මුහුණ දිය යුතුයි. දේශපාලනය වෙනම තබාගෙන අප රට වෙනුවෙන් එකට වැඩ කරමු. පැරණි දේශපාලනයේ යෙදීමෙන් රට ඉදිරියට ගෙන යන්න බැහැ. අපි මේ රටේ තරුණයන්ට අනාගතයක් ගොඩනගා දිය යුතුයි. ඒ නිසා දේශපාලනයෙන් තොරව රට හදන්න ඉදිරියට යමු කියන ආරාධනා කරනවා.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved