Connect with us

පුවත්

අපරාධ රාජ්‍යය ඉවර කරනවා – ජනපති

Published

on

නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූයේ ජාතිවාදය සහ අන්තවාදය බවත්, ශ්‍රී ලංකාව තුළ නැවත ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ  ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (28) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමිනි.  

ආර්ථික අර්බුදයක් හෝ රට තුළ ආරක්ෂාව නැති බවට චිත්‍රයක් මවා හෝ මහජන කැලඹීමක් ඇති කර හෝ ආණ්ඩුව බිඳ දැමීමේ විපක්ෂයේ සිහිනයට කිසිදා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් රජය අශිෂ්ටත්වයේ යුගය අවසන් කර, ශිෂ්ටත්වයේ මාර්ගය සකස් කර ඇති බවත්,  හැකි නම් වත්මන් රජයේ ශිෂ්ටත්වය අබිබවා යන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයට අභියෝග කළේය.

එසේ නොමැතිව පැරණි දේශපාලනයේ සිටීමෙන් දේශපාලන ෆොසිල බවට පත්වීම වැළැක්විය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

යටිබිම්ගත අපරාධ රාජ්‍යයේ අපරාධ කල්ලිවලට වත්මන් ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් ආශිර්වාදයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය වෘත්තීමයභාවයක් ඇති හමුදාවක් සහ පොලීසියක් බවට පත් කරන බව පැවසු ජනාධිපතිවරයා ආරක්ෂක අංශයේ කිසිදු පත්වීමක් හෝ ස්ථාන මාරුවක් හිතවත්කම් මත හෝ දේශපාලනිකව සිදු කර නොමැති බවද සඳහන් කළේය. 

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු හතක් ලබා දී ඇති බවත්, හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමග අලුත් ගමනක් යා නොහැකි බැවින් නව පත්වීම් සිදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

පුද්ගලයාට පක්ෂපාතී හමුදාවක් වෙනුවට රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් නිර්මාණය කිරීමටත් එම හමුදාවේ වෘත්තිමයභාවය වැඩිදියුණු කිරීමටත්  වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කාලයේ වැලිතලාවෙන් යට වී තිබෙන අපරාධවලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත්, ඒ සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත්  ජනාධිපති අනුර දිසානායක මහතා  පැවසීය.

ආරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යුහයේ විශ්වාසය මත ශිෂ්ටත්වය  ගොඩනැගෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා අශිෂ්ටත්වයේ පතුලටම ගොස් තිබෙන මෙම රාජ්‍ය නැවත ශිෂ්ටත්වය කරා ගෙන යාමට වත්මන් රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

ආර්ථික අර්බුදයක් ඇති කර  බලය ලබා ගැනීමේ විපක්ෂයේ සිහිනය මේ වන විට අවසන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් මවා පාමින්  ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂය දැන් යම් උත්සාහයක සිටින්නේද යන්න සැක සහිත බවද  සදහන් කළේය .

මෙම මාසයේදී සිදු වූ අපරාධ පහ පිළිබඳ විමර්ශනය කරන විට එය අපරාධ කල්ලි පහකින් සිදුව තිබෙන බවත් පරීක්ෂණ සිදු වන විට තම දිශාවට පරීක්ෂණ යොමු වන බව  අපරාධකරුවන් හඳුනා ගන්නා බවත්, එම අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මකවීම කුමන්ත්‍රණයක්දැයි සැකයක් පවතින බවත්  ජනාධිපතිවරයා හෙළි කළේය.  මෙම කුමන්ත්‍රණ හඳුනා ගනිමින් ඒවා මර්දනයට රජය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.  කුමන්ත්‍රණවලින් ආණ්ඩු බලය හුවමාරු කළ යුගය අවසන් බවත්,  ශිෂ්ටත්වය මතින් ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය අපරාධ කල්ලිවලින් වියුක්ත කරන සමාජයක් ගොඩනගන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක අංශවලට විදේශ පුහුණුව සඳහා ලබා දෙන  දීමනා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.  ගුවන් හමුදාවට හා නාවික හමුදාවට අවශ්‍ය යානා මිලදී ගැනීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවට පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.  ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නව  බඳවා ගැනීම් සඳහා  මුදල් වෙන් කර ඇති බවත් ගුවන් හමුදාවට සහ පොලිසියට 10,000 බැගින් බඳවා ගැනීමට මෙවර අයවැයෙන්  මුදල් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By

සති දෙකක කාලයක් තුළ වගා නොකිරීමට හේතු දක්වන්නැයි වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.  

කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේ, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම්ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

Continue Reading

පුවත්

රට පුරා එකම වෙලාවකට සැමරූ “2025 ජාත්‍යන්තර යෝගා දිනය”

Published

on

By

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පසුගියදා (19 ) වන දින දිවයින පුරා සැමරුම් මාලාවක් සංවිධානය කර තිබිණ.

මේ අනුව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් ශික්ෂණ සහ පර්යේෂණ ආයතන ඇතුළු ආයුර්වේද රෝහල් 113ක සහ විශ්ව විද්‍යාල 4ක එකම වේලාවක දී යෝගා වැඩසටහන් පවත්වන ලදී. 

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන වැඩසටහන අද (21)  පෙ.ව. 6.30ට කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

මේ හා සමගාමීව දිවයින පුරා යෝගා ව්‍යායාම සඳහා උනන්දුව තීව්‍ර කරමින් යාපනය, මහනුවර සහ හම්බන්තොට ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ආයතන විසින් ද යෝගා දින සැමරුම් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ ආයුර්වේදය සහ වෙනත් සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමට, නියාමනය කිරීමට සහ ආරක්ෂා කිරීමට තිබෙන ප්‍රධානතම ආයතනය වේ. සාකල්‍ය සෞඛ්‍යය සහ සුවතාවය සඳහා කැපවීමේ කොටසක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් යෝගා ව්‍යායාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, අධ්‍යාපනය සහ පර්යේෂණය තුළ වැදගත් අංගයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ.

2025 ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන “Yoga for One Earth, One Health – මුළු ලොවෙහි මනා පැවැත්ම සහ අප සැමගේ නිරෝගීභාවය” යන්න පුද්ගල සුවතාවය සහ අපගේ පෘථිවියේ මනා පැවැත්ම අතර පවතින දැඩි සම්බන්ධතාවය පිළිබිඹු කරයි. සිරුර, මනස සහ ස්වභාව ධර්මය අතර මනා සුසංයෝගීතාවය පදනම් කරගත්
පෞරාණික ක්‍රමවේදයක් වන යෝගා ගෝලීය සෞඛ්‍යය සහ පාරිසරික වශයෙන් දක්වන සැලකිලිමත්භාවය සඳහා අත්‍යාවශ්‍ය තිරසාර සහ සමබර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කරයි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම විශ්වීය පණිවිඩය අවධාරණය කරමින් සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස නම් කරන
ලෙස 2014 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. එතැන් සිට යෝගා දිනය අභ්‍යන්තර සාමය සහ සාමූහික සුවතාවය ළඟා කර ගැනීම සඳහා යෝගා ව්‍යායාම පුරුදු පුහුණු කිරීමට මිලියන ගණනක ජනතාව දිරිමත් කරන ගෝලීය ප්‍රයත්නයක් බවට පත් වී ඇත.

Continue Reading

පුවත්

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online

Published

on

By

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ,  එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් Online ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම වැඩසටහනත් සමඟ කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයැදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදාවෙයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved