Connect with us

පුවත්

අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි

Published

on

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු අතරින් ප්‍රධානම වාට්ටුව මෙලෙස වැසී යාම බරපතළ තත්ත්වයක් බව ද තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බව ද වෛද්‍ය රාජකරුණා මහතා කීය.

මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුවේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් 210 දෙනකු පුහුණුව ලබමින් සිටි බවත් ඔවුන්ට එම අවස්ථාව මේ වනවිට මගහැරී ගොස් ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.

තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව පැවසූ සහකාර ලේකම්වරයා මේ නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු  මේවන විට නොමැති බව ද හිටපු වෛද්‍යවරුන් විදේශගත වී ඇති බව ද ඔහු කීය.

වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් රට තුළ නැතිවීම, අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයාම ආදි කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යන තත්ත්වයක් උද්ගතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් කාලයේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළ බව ද  ඔහු කීය.

ළමා වාට්ටුව වසා දැමීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ තමාට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවය.

මේ අතර අනුරාධපුර රෝහල් 63  වැනි වාට්ටුව හෙවත් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.

රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි වාර්තා වේ.

වාට්ටු අංක 63 නැවත විවෘත කරන තෙක් ළමා රෝගීන් ඇතුළත් කිරීම වාට්ටු අංක 24 සහ 25 යන වාට්ටුවලට ඊයේ (30) සිට තාවකාලිකව යොමු කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

එමෙන්ම වාට්ටු අංක 63 ප්‍රතිකාර ලබන ළමා රෝගීන් 24සහ 25 යන වාට්ටුවලට මාරු කර යවන අතර 63 වාට්ටුවේ ළමා රෝග සායනය සතියක් ඇර සතියක 24 සහ 25  වාට්ටුවල පවත්වන්නැයි එමගින් උපදෙස් දී ඇත.

මේ අතර 63 වාට්ටුවේ සේවයෙ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

(ලංකාදීප)

පුවත්

ජනපති ජර්මානු නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)  ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන  නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

කාලගුණයෙන් රතු නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

හෙට (11) දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස මෙම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60–70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

ජපානයේ සිටින ලාංකේයන් වෙනුවෙන් ජංගම කොන්සියුලර් වැඩසටහනක්

Published

on

By

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින්  අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07)  ජපානයේ  ශ්‍රී ලංකා  තානාපති  මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහි දී තානාපති කාර්යාලය මගින් සිදු කරන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර යාවත්කාලීන කිරීම, දිවුරුම් ප්‍රකාශ නිකුත් කිරීම, ඇටෝනි බලපත්‍ර සහතික කිරීම ඇතුළු අත්‍යාවශ්‍ය කොන්සියුලර් සේවා සහ වෙනත් සහය සේවාවන් රැසක් ජපානය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් සපයන ලද අතර ප්‍රදේශවාසී ශ්‍රී ලාංකිකයෝ විශාල සංඛ්‍යාවක් මෙම සේවාව හා එක් වී සිය අවශ්‍යතා ඉටුකර ගත්හ.

තොචිගි ඔහානා සංවිධානය විසින් සංවිධානය කළ මෙම ජංගම කොන්සියුලර් සේවයට සමගාමීව වෙසක් සහ පොසොන් පොහොය සැමරුම්  “වෙසක් කලාපය” පැවැත්විණි. ඊට ප්‍රදේශවාසී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් එක්ව නිර්මාණය කරන ලද අලංකාර වෙසක් පහන් කූඩු 600 කට අධික ප්‍රමාණයක් සැරසිලි සඳහා එක් කර තිබුණි.ඊට අතිරේකව ලාංකික  සංස්කෘතිකාංග වලින් සමන්විත වූ ප්‍රාසාංගික ඉසව් රැසකින්  ද  මෙම වෙසක් කලාපය වර්ණවත් විය. උත්සවයේ වැදගත් අංගයක් ලෙස පැවති ළමා චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා සහභාගීත්වය අගය කරමින් වටිනා පාසල් බෑග් තිළිණ ලෙස ප්‍රදානය කෙරිණ.

මෙම වෙසක් කලාපය හා සංස්කෘතික ප්‍රසංගය තුළින් මෙරට වෙසක් සංස්කෘතිකාංග ජපන් ජාතිකයන්ට හා ජපාන වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට හඳුනාගැනීමට කදිම අවස්ථාවක් ලද බව ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පැවසීය.

එම අවස්ථාවේ  ආගමික වතාවත් පැවැත්වීමට තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති  අතිපූජ්‍ය මාවතරේ චන්දිම හිමියෝ හා සයිතමා කුමගයා අනඳමෙත් විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නාරවිල විජයවංශ හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved