Connect with us

පුවත්

අපේක්ෂා රෝහලට නව පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්

Published

on

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

එහි දී සෞඛ්‍ය‍ හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  අදහස් දක්වමින්  රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවත් සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60  ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත් එය විශාල ගැටළුවක් බවත් සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එය ද ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටළු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බව ද මෙහි දී පැවැසීය. මින් ඉදිරියට රජය අ‍ලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට  ද  කටයුතු කරන බව සඳහන් කළ ඇමතිවරයා  ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බව ද පැවසී  ය.

මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම්  35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයන බවත්, ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සඳහන් කළේ ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරන බව ද පැවසී ය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර  (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින්  පිළිකා රෝගීන්ගේ   ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බව ද පැවසී ය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරන බවත්, මේ සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරන බවත්, රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි  යම්  සංශෝධනයන්ට යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය. 

රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක්  වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල්  ළමා වාට්ටු  සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර  ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි  සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති  හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, යන මහත්ම මහත්මීන් ඇතුළුව  රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.

(news.lk)

පුවත්

ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවය.

ඒ අනුව එළැඹෙන සඳුදා දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද එම මණ්ඩලය මහජනතාවට දැනුම් දී තිබේ.

ජල සැපයුම අතිහිටුවන ප්‍රදේශ – පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

Continue Reading

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved