Connect with us

පුවත්

අරක්කු ඉල්ලුම අඩුවෙලා, එතනෝල් ස්කාගාරවල පල් වෙයි!

Published

on

මත්පැන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉස්කාගාර හතක මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ලීටර් ලක්ෂ හැටක් පමණ ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ.

තවදුරටත් එතනෝල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම නිසා ඉදිරියේදී උක් අස්වනු මිලට ගැනීම සම්බන්ධයෙන් එම ස්කාගාර දැඩි ගැටලුවකට මුහුණ දී ඇතැයි ද පැවසේ.

පවතින තත්ත්වය යටතේ එතනෝල් ලීටරයක මිල රුපියල් එක්දහස් දෙසීයේ සිට රුපියල් හත්සියය දක්වා අඩු වී ඇති බවද වාර්තා වේ.

මත්පැන් නිෂ්පාදනය අඩුවීමට මිල වැඩි වීම බලපා තිබෙන අතර එතනෝල් මිල අඩු කළහොත් මත්පැන් නිෂ්පාදන මිල ගණන් පහත දැමිය හැකි හෙයින් ඒ සඳහා ඉඩක් පවතින්නේද යන්න සුරාබදු දෙපාර්තමේන්තුව ඉස්කාගාර සමග සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇත. 

එහෙත් පවතින වියදම් අනුව එතනෝල් මිල ගණන් පහත හෙළිය නොහැකි බව නිෂ්පාදකයන් දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

මත්පැන් මිල ඉහළ යාම නිසා නීතිවිරෝධී මත්පැන් භාවිතය සියයට තිහකින් පමණ ඉහළ ගොස් තිබෙන බව පාර්ලිමේන්තුවේ පැවති මුදල් කාරක සභාවේදී ප්‍රකාශ වී ඇත.

කෙසේ වුව ද මත්පැන් නිෂ්පාදනය අතරතුර ක්‍රියාවලියේදී අය කරන බදු වෙනස් කිරීමෙන් මත්පැන් නිෂ්පාදන මිල සංශෝධනයකට යාහැකිද යන්න ගැන වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්ද කර තිබේ.

මේ අතර ස්කාගාර බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව දෙකෝටි පනස් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා අඩු කර ඒ වෙනුවට එතනෝල් ලීටරයක් සඳහා අය කරන රුපියලක බද්ද රුපියල් දෙක දක්වා වැඩි කළ බව දෙපාර්තමේන්තුව කාරක සභාවට දන්වා ඇත. 

එමගින් වසරකට රුපියල් කෝටි හතරක ආදායමක් ලැබෙන බවද දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading

පුවත්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published

on

By

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Continue Reading

පුවත්

බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

Published

on

By

බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළදීම අනිවාර්ය වේ.

පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා විය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද (01) සිය යළි ආරම්භ කෙරෙන බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවක දී හඳුනාගෙන ඇත්තේ රථවාහන 8,788ක් ධාවනයට නුසුදුසු බවය.

මෙම තත්ත්වය මෙන්ම රථවාහන වල අමතර කොටස් සවිකිරීම ද අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබේ.

විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රි රෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ යුතු වන්නේ නිර්ණායක වලට යටත්වය.

අද  (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන මෙම අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණය සමග එකඟ වන බව බස් සහ ත්‍රි රෝද රථ සංගම් පවසයි..

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved