Connect with us

පුවත්

අරගලයේදී ජනාධිපති මන්දිර මුදල් සිද්ධිය: ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා පෙත්සම විභාගයට අවසර දෙයි

Published

on

අරගලකරුවන් විසින් කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක් අරගලකරුවන් විසින් පොලිසියට භාරදීමේ සිද්ධියේදී සාපරාදී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබා දුන්නේය.

ඉකුත් වසරේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කලේය.

ඉන් අනතුරුව අදාල පෙත්සම ජුනි මස 12 වනදා විභාගයට ගැනීමටත් දින නියම කලේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2022 වසරේ ජූලි මස 09 වනදා කොටුව, ජනාධිපති මන්දිරය වැටලූ අරගලකරුවන් විසින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක් කොටුව පොලිසිය වෙත භාර දුන් බව සඳහන් කලේය.

ඉන් අනතුරුව කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කථා කළ එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම මුදල් අමාත්‍ය ටිරාන් අලස්ට භාරදෙන ලෙස දැනුම් දුන් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳව කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සටහන් යොදා තිබෙන බවත් කියා සිටියේය.

පොලිසිය භාරයට ගනු ලැබූ එම මුදල් අධිකරණයට ඉදිරිපත් නොකොට ටිරාන් අලස් අමාත්‍යවරයාට භාර දෙන ලෙස දැනුම් දීම තුළින් දේශබන්දු තෙන්නකෝන් සාපරාධී විශ්වාසය කඩකිරීමකට ආධාර අනුබල දීම නමැති වරද සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කලේය.

ඉන් අනතුරුව සාපරාධී විශ්වාසය කඩකිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් තම සේවාදායකයා දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කරමින් පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එහි සැකකරුට සිතාසි නිකුත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

ඊට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාල පුද්ගලික පැමිණිල්ල බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අභියාචනාධිකරණයේ එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි වන අතර එය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න සඳහන් කලේය.

ඉන් අනතුරුව වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය හරහා අපරාධමය වරදක් උද්ගත නොවන බව සඳහන් කලේය.

පොලිසිය විසින් භාරගත් අදාල මුදල් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත භාර දෙන ලෙස දැනුම් දීම තුළින් අපරාධමය වරදක් උද්ගත වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා අදාල මුදල් ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් පැවසීය.

ඒ අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ගොනුකර තිබෙන මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් වැඩිදුරත් සදහන් කරන ලදී.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කලේය.

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved