ලබන දෙසැම්බර් 06 වැනිදා සිට ආරම්භ කිරීමට සැලැසුම්කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ‘ටී 10’ ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.
ජාතික ක්‍රීඩා සභාව විසින් අදාළ යෝජනාවන් ඊයේ (10) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත්කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කරන ලෙසටද එහිදී ඉල්ලා ඇති බව පැවසේ.
එම යෝජනාවන් සම්බන්ධයෙන් ක්‍රීඩා සභාවේ වගකිව යුතු නිලධාරීන් සමග අද (11 ) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළැඹෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍යට පවසා තිබේ.
‘‘ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියත්, ටී 10 තරගාවලියත් අවලංගු කරන මෙන් ඉල්ලා ජාතික ක්‍රීඩා සභාවෙන් යෝජනා ඇවිත් තිබෙනවා. උද්ගත වෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා කවුන්සිලයත්, තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරලා අවසන් තීරණයකට එන්න බලාපොරොත්තු වෙනවා’’යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත.
අතුරු කමිටුව ඩොලර් කොල්ලයකටයි!
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ
ලංකා ප්‍රිමියර් ලීගය පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම් කර ඇති බවයි.
තරගාවලිය අත්හැරියහොත් ඉන් ඩොලර් මිලියන 2ක පාඩුවක් සිදුවන බවද මේ අතර වාර්තා වේ.
එසේම නම හෙළි නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියකු අරුණ පුවත්පත වෙත මෙසේ පවසා තිබේ.
“මේ තරගාවලිය වෙනුවෙන් ලංකාවට පැමිණීමේ අදහසින් සිටින විදේශිකයන් ලංකාවට එන්නේ නැති වෙයි. ධනුෂ්ක ගුණතිලකට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි දේවල් කරන්න හදනවා නම්, ඒ සිද්ධියෙයි, තරගාවලි අවලංගු කිරීමෙයි ඇති සම්බන්ධය කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක සංචිතයක් තියෙනවා. යම් අයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් දාන්න හදන්නේ ඒකේ තියෙන සල්ලි කොල්ලකන්න. අපි ඒ බව අයි.සී.සී.යටත් දැනුවත් කරලා තියෙන්නේ.
යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් දැම්මොත් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික වශයෙන් තහනමකට ලක් වෙනවා’’
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස අර්ජුන රණතුංග මහතා කටයුතු කරන අතර ඔහු දේශපාලනයට සම්බන්ධවන සෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි.