පුවත්

අල්ලස් කොමිසමේ අලුත් සාමාජික කාලය සීමා වෙයි!

Published

on

නව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අලුතින් පත් කෙරෙන කොමසාරිස්වරුන්ට හිමිවනුයේ දැනට එම තනතුරු දරන කොමසාරිස්වරුන්ට හිමිව ඇති ධුර කාලයේ ඉතිරිය වන වසර දෙකයි මාස 10ක කාලය සම්පූර්ණ කිරීමට පමණක් බව වාර්තා වේ.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ 1994 අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ 6 වැනි වගන්තිය මගින් පනවා තිබෙන විශේෂ විධි විධානයක් හේතුවෙනි.

එහි සඳහන් වන්නේ කොමසාරිස්වරුන්ට වසර 5ක ධුර කාලයක් හිමිවන බවය.

එහෙත් ධුරය දරද්දී මිය යන, ඉල්ලා අස්වන හෝ ධුරයෙන් ඉවත් කරනු ලබන සාමාජිකයකුගේ ධුර කාලය ඔහු අනුප්‍රාප්තික වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය විය යුතුය. යනුවෙන් එහි සඳහන්ය.

දැනට ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කළේ 2020 වසරේ දෙසැම්බර් මස 07 වැනිදාය.

ඒ අනුව ඔවුන්ගේ ධුර කාලය හමාර වන්නේ 2025.12.07 දිනය. ඊට පෙර මෙම වසරේදී ඔවුන් සිය තනතුරුවලින් ඉවත් කළහොත් අල්ලස් දූෂණ පනත ප්‍රකාරව අලුතින් පත්වන සාමාජිකයන්ට වත්මන් කොමසාරිස්වරුන්ගේ ධුර කාලයේ ඉතිරිය හමාර වන තෙක් වසර දෙකයි මාස 10ක කාලයක් තනතුරු දැරිය හැකි බව වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version