Connect with us

පුවත්

අලි පබ්ලිසිටි දුන් අලි රාජාගේ ඔරුවන් වැහෙයි, මොනරාගේ තටු කැපෙයි!

Published

on

විශාල වෙළඳ ප්‍රචාරණයක් ලබාදෙමින් ව්‍යාපාරික අලි රාජා සුභාෂ්කරන් විසින් ආරම්භ කරන ලද ඔරුවන් දමිළ පුවත්පත මේවන විට වසා දැමීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ලයිකා සමූහ ව්‍යාපාරය යටතේ පවතින සවුත් අයි පෞද්ගලික සමාගම විසින් අදාළ පුවත්පත පවත්වාගෙන ගිය අතර හදිස්සියේම එහි සේවය කළ කර්තෘවරයා ඇතුළු පිරිසකගේ සේවය අවසන් කිරීමට එම සමාගම කටයුතුකරමින් සිටින බව පැවසේ.

එම සමාගම පාඩු ලබන බව පවසමින් මෙම තීරණය පිළිබඳව අදාළ ජනමාධ්‍යවේදීන්ට දැනුම්දී ඇත.

පසුගිය සතියේවල ලයිකා සමූහ ව්‍යාපාරයට අයත් ජනමාධ්‍ය ආයතන වෙනත් පාර්ශ්ව වෙත ලබාදෙන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසට ප්‍රකාශ කර ඇති එහි මානව සම්පත් අංශය, ජනවාරි 28 වැනිදා සේවකයන් පෞද්ගලිකව ගෙන්වා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යන බව පවසා ස්වයං ඉල්ලා අස්වීමේ ලිපි ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කර ඇති බවද වාර්තා වේ.

එලෙස සිදුකරන්නේ නම් මාසයක වැටුප වන්දියක් ලෙස දීමට කටයුතු කරන බව දැනුම්දී ඇත.

කෙසේවුවද, මේ තීන්දුවට එරෙහිව අදාළ මාධ්‍යවේදීන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවට එහි පාලනාධිකාරියට දැනුම්දීමෙන් පසුව අද (03) දිනයේදී පාලානාධිකාරිය සමඟ සාකච්ඡාවකට එහි සේවකයන්ට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඔරුවන් දෙමළ ජාතික පුවත්පතේ සේවය කළ ජනමාධ්‍යවේදීන් 11 දෙනකු, ඔරුවන් වෙබ් අඩවිය සහ එහි යූ ටියුබ් නාලිකාවේ සේවය 05 දෙනකු, මොනරා වෙබ් අඩවියේ සහ යූටියුබ් නාලිකාවල සේවය කළ 12 දෙනකු ලෙස මේවන විට 28 දෙනකුගේ සේවය අවසන් කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

මේ අතර එම සමූහයට අයත් මොනරා පුවත්පතේ ජනමාධ්‍යවේදීන්ද සිය රැකියා පිළිබඳව සැකයෙන් පසුවෙති.

අදාළ සේවකයන් සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙසට සිදු කළ ඉල්ලීම ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ මානව සම්පත් කළමනාකරණ අංශය අනතුරුව 30 වැනිදා පස්වරුවේ ලිපියක් ලබා දී තිබුණ ද එහි කිසිම ස්ථානයක සේවය අවසන් කරන බවට සඳහන් කර නැතැයි ද වාර්තා වේ.

එමෙන්ම ආයතන පාඩු ලබන බවට කළමනාකාරීත්වය ප්‍රකාශ කළ ද ලාභ ඉපයීම සඳහා ඔවුන් කිසිදු උත්සහයක් නොකළ බවත්, චේතනාන්විතව ආයතනය පාඩුවට පත්කිරීමට කටයුතු කළ බවත් එහි සේවයෝ චෝදනා කරති.

එමෙන්ම මේ වනවිට මොනරා වෙබ් අඩවිය සහ යූ-ටියුබ් නාලිකාවේ සේවකයන් භාවිත කළ පරිගණක අදාළ මේසවලින් ඉවත්කර වෙනම කාමරය දමා වසාදැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඔරුවන් පුවත්පත මුල් කාලයේදී පිටපත් 1500ක් මුද්‍රණය කර ඇතත්, එය වසා දැමීමට ආසන්න කාලයේදී මුද්‍රණය කර ඇත්තේ පිටපත් 900ක් පමණක් බවද පැවසේ.

කෙසේවුවද, එහි එක් පිටපතක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 40ක පමණ මුදලකට වුවත්, එහි එක් පිටපතක මුද්‍රණ වියදම රුපියල් 200ක් බවද පැවසේ.

මේ අතර, මුලින්ම දිනපතා මොනරා පුවත්පත පිටපත් 85,000ක් මුද්‍රණය කර ඇති අතර මේවන විට එය පිටපත් 35,000 දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.

සුභාෂ්කරන් අලිරාජාට අයත් පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය ආයතන වැසීයාම හා විකුණා දැමීමට මේවන විට කටයුතු සිදුවෙමින් තිබුණ ද අලිරාජා මහතාගේ දේශීය සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරන නිලියක වන ජානකී විජේරත්න මහත්මිය තවදුරටත් අලිරාජා මහතාව ලංකාවේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.

එසේම පසුගිය කාලයේදී ටෙලිකොම් හා ලංකා හොස්පිට්ල් හි කොටස් ගැනීමට සුභාෂ්කරන් උත්සාහ කළ අතර එය ව්‍යර්ථවූ පසු මේවන විට ඔහු එම ආයතන කොටස් විකිණීම අත්හිටුවීමට අධිකරණයේ නඩුවක් ද ගොනුකර තිබේ.

සබැඳි පුවත්

සුභාෂ්කරන් යළි ලංකාවට; පක්ෂයකුත් ගන්න ගිහින්; ටෙලිකොම් ගැන ජනපති එක්ක යළි කතා 

ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!

“රා” කියාගෙන සුභාෂ්කරන්ගේ මොණරා එයි

ETI දේපල විකුණා ඇත්තේ නීතියට පිටින්: ස්වර්ණවාහිනී ඩීල් එකත් ප්‍රශ්නගතයි 

ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!

ටෙලිකොම්හි ෆයිබර් ඔප්ටික් කේබල් 5ත් වික්කම ලංකාවට අබ සරණයි

ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද? 

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved