Connect with us

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (Update)

Published

on

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.


(පෙර පුවත 2025 පෙබරවාරි 19, ප.ව.3:19)

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන පොලීසිය කතා කරයි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.

ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු CCTV දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි රෙජිස්ටර්වරයාට නියම කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලීසියට අවශ්‍ය කරන සීසීටීවී දර්ශන මුදාහැරීමට පියවර ගන්නා ලෙස දැන්වීය.

(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.10.25)


අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමකින් ගණේමුල්ල සංජීව මරුට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී  වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved