Connect with us

පුවත්

අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට බඩු මල්ලක්

Published

on

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් තෙවන වරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

සිංහල හා  දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා විය.

උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට  මෙවර අයවැය මගින් රුපියල් බිලියන 01ක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා  කෙරිණි. 

වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උච්චාවචනය අවම මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.

වී මිල දී ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, වී මිලදී ගැනීම සදහා  මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ  මිල දී  ගන්නා වී ප්‍රමාණය පිළිබඳ  පසුවිපරමක් සිදු කිරීමටද සාකච්ඡා විය. ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව  සොයා  බැලීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිලදී ගැනීම සදහා  රුපියල් බිලියන 15කට අධික  බැංකු ණය ලබා ගෙන  ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය විය. එබැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිලදී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු විය. නැවත සහල්  හිගයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස්  දෙන ලදී.

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

තමිල්නාඩුවට පනින්න හැදූ ලාංකිකයන්

Published

on

By

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

ඊයේ (28) දිනයේදී  ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් බවත් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවද වාර්තා වේ.

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රීයේදී මෙරටින් පිටත්වී ඇති අතර ඔවුන් අලුයම 04 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා

Published

on

By

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට සිනොපෙක් හි ඩොලර් බිලියන 3.7 ක ආයෝජන ව්‍යාපෘතියට ගිවිසුම්ගතව මාස හයක් ගතවී ඇතත් තවමත් අවිනිශ්චිතව පවතින බව වාර්තා වේ.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං වෙත කළ රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛ චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී.

මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතය. 

පිරිපහදුවේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා සැලසුම් කර ඇති අතර එමඟින් ජාතියේ විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නංවයි. 

චීනයෙන් ලැබෙන මෙම ප්‍රධාන ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන අතරම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට අපේක්ෂා කෙරේ. 

එපමණක් නොව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කර තිබිණි.

මේ ගැටුම ඇතිව ඇත්තේ ඇත්තේ සිනොපෙක්ට එහි පිරිපහදු කළ නිෂ්පාදන දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හැක්කේ 20%ක් පමණක් ලෙස සම්බාධක පැනවීම නිසා බව පැවසේ.

කෙසේවුවද, සිනොපෙක් සඳහා දේශීය වෙළඳපොළ කොටස පිළිබඳ තවමත් එකඟතාවයක් ඇතිව නොමැති බවද පැවසේ.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනවබෝධ අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සහ අධ්‍යක්ෂ මහාචාර්ය ලියු සොන්ගි මීට පෙර පැවසුවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිනොපෙක් මෙහි බාධකවලට මුහුණ දෙන බවයි.

මූලාශ්‍රය – ඩේලි මිරර්

සබැඳි පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

“අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ මහින්ද”

Continue Reading

පුවත්

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 2ක් අතුරුදහන්

Published

on

By

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.

ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

පෙර දිනත් ධීවර යාත්‍රා 3ක් අනතුරකට පත්වෙයි

මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.

ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ඉන් අතුරුදන්ව තිබුණි.

හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved