Connect with us

පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක

Published

on

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සදහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවිනොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.  

2017 වසරේදී රුපියල් මිලියන 2.1 ක වියදමින් මිලදී ගත් මෙම කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් අනාවරණය විය. ඒ සදහා මැදිහත්වූ නිලධාරීන්ද මේවන විට ස්ථාන මාරු ලබා ඇති බව ද අනාවරණය විය. මෙවැනි ආයතනවල ඇතැම්පිරිස් කැමරා උපකරණ සවිකිරීමට අකමැත්තක් පළ කරන බවද පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර CCTV කැමරා පද්ධතිය සවිකිරීමට පියවර ගන්නා ලෙසත් මැයි 15ට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දැනුම් දුන්නේය. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2020, 2021 හා 2022 වසරවල විගණකාධිපති වාර්තා හා වත්මන් කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සදහා පසුගියදා (02) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය. 

ගුවන්තොටුපළ ඊගේට් (E-gate) පහසුකමට අදාළ උපාංග  මිලදී ගැනීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය  විසින් දැනුම් දී තිබුණද  තවමත් ඒ සදහා පියවර නොගැනීම නිසා සමස්ත ඊගේට් පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම පිළිබඳව  කාරක සභාවේ බලවත් අප්‍රසාදය මෙහිදී පළ විය. ඒ අනුව මෙහි ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ලබන අප්‍රේල් 15 වැනිදාට පෙර ලබා දෙන ලෙස ද දැනුම් දුන්නේය. ගුවන් තොටුපළ තදබදය අවම කිරීම සදහා ස්වයං පරීක්ෂාවන් කිරීම ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් සමග ඉදිරියට යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරන ලදී. 

විද්‍යුත් ගමන් බලපත්‍රය (E-Passport) නිකුත් කිරීම වසර 4ක් මුළුල්ලේ ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2020 වසරේ ආරම්භ වී ඇති මෙම ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව නිලධාරීන් පැවසූහ. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව නියෝග කළේය. 

ගුවන් තොටුපළ රාජකාරී කටයුතු කාර්යක්ෂමකව සිදු කිරීම සදහා රාත්‍රී කාලයන්හීදී ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව කාර්යබහුල වේලාවන්හි වැඩි වශයෙන් ඵලදායි ලෙස නිලධාරීන් යෙදවීමට සැලැස්මක් සකස් කරන ලෙසත් එය අප්‍රේල් 15ට පෙර කාරක සභාවට ලබා දෙන ලෙසද උපදෙස් ලබා දීම සිදු විය.

මෙරට ගුවන් ගමන් බලපත්‍රය ලොව ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල 97 වැනි ස්ථානයේ ඇති බව නිලධාරීන් පැවසූහ. ඒ සදහා බලපාන නිර්නායක පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ලංකාව ලෝකයේ ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගෙනඒම සදහා වැඩපිළිවෙලක් සකස්කොට කාරක සභාව දැනුවත් කරන ලෙස ද කෝපා සභාපතිවරයා දැනුම්දෙන ලදී.

ප්‍රාදේශීය කාර්යාල මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම නිසා  ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ඇතුළු අඩුපාඩු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ධාරිතාව වැඩි කිරීම සදහා නිවැරදි යාන්ත්‍රණයක් සකස් කොට ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.  

රුසියානු හා යුක්රේන ජාතිකයන් වීසා අවසන් වීමේන් පසුවද මෙරට රැදී සිටිමින් දකුණු ප්‍රදේශවල ව්‍යාපාරවල නිරත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙම පුද්ගලයන් ජීවත් වන ස්ථාන තහවුරු කර ගැනීමේ ගැටලු පවතින බව නිලධාරීහු පැවසුහ. මේ අනුව මේ සම්බන්ධ තොරතුරු ලබා දීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දී ජනතාවගේ සහය ලබා ගැනීමේ වැදගත්කම ද  මෙහිද පෙන්වා දෙන ලදී. 

පුවත්

මර්වින්, ප්‍රසන්න ජුනි 23දා තෙක් යළි රිමාන්ඩ්

Published

on

By

ඉදිකිරීමක් සඳහා රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  නියම කළාය.

මීට ඉහත පැවැති නඩු දිනයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ද ප්‍රතික්ෂේප කළාය.

මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරිණි.

Continue Reading

පුවත්

කෙහෙළියගේ පැමිණිල්ලකට කටඋත්තර දෙන්න රනිල් CIDයට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහාය.

මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Continue Reading

පුවත්

කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක පිපිරීමක්; 5කට තුවාලයි; 4ක් අතුරුදන්

Published

on

By

කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත් බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවද පැවසේ.

නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved