Connect with us

පුවත්

ආනයනික වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය

Published

on

රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසූහ.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙම කොන්දේසි පනවා ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය. එසේම, ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනය පිළිබඳ අවසරය අත්හිටුවන බව නිලධාරීහු පැවසූහ. එසේම නිසිකාලය තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3% සිට 45%ක උපරිමයක් දක්වා දඩ මුදලකට ද යටත් වේ.

එසේම පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි බවත්, ව්‍යාපාරයකට එවැනි කොන්දේසියක් නොමැති බවත් ප්‍රකාශ විය.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2025.03.04 දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වූ අතර 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පළ කරන ලද අංක 2421/04 සහ 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍ර මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ දේශීය විදුලි වාහන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහාය ලබාදීමට වන ඉල්ලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. දේශීය විදුලි වාහන නිෂ්පාදකයින් සඳහා යෝජිත රේගු ආනයන බදු සහ අධිභාරයෙන් නිදහස් කිරීම සම්බන්ධ ඉදිරියේදී සාධනීය ලෙස සලකා බැලිය හැකි බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

2012 අංක 12 දරන මූදල් පනත යටතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝගය ද කමිටුව විසින් සැලකිල්ලට ගෙන අනුමත කරන ලදී. නිශ්චිත කොන්දේසි වලට යටත්ව 2025 පෙබරවාරි 21 වන දින දක්වා මාස 3 ක කාලයක් ඇතුළත LAUGFS ගෑස් ආයතනය හරහා එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 9000 ක් දේශීය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම සහ චතුරංග අබේසිංහ යන මහත්වරු ද . පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍ය ආරියරත්න, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

මෛත්‍රි වන්දි මුදල ගෙවයි (UPDATE)

Published

on

By

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාවක් ලබාදීමට ගත් තීරණයෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙවා අවසන් කර ඇති බව ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නඩුව අද(29) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.

නඩු විභාගය අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට දැනුම් දුන්නේ, කලින් නියම කර ඇති පරිදි වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවය.

මෙම තහවුරු කිරීමෙන් පසුව, නඩුවට අදාළ ඉදිරි කටයුතුවලින් මෛත්‍රීපාල සිරිසේන නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 29 පෙ.ව.9.50 )

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

රෝයල් පාක් මිනී මැරුම්  සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

Continue Reading

පුවත්

2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී අද (29)  එම වාර්තාව පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වීය .

මහ බැංකුවේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ .

Continue Reading

පුවත්

මැතිවරණ ප්‍රචාරක කටයුතු 03 වැනිදා මැදියම් රැයෙන් අවසන්

Published

on

By

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය බවට ප්‍රකාශයට පත් කරන බවය.

මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අද දිනය දක්වා ක්‍රියාත්මක කර ඇති බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ අදින් පසු නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ නම් මේ මස 30 වැනිදායින් පසුව තමන්ගේ ප්‍රදේශය තුළ පිහිටි උප තැපැල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව ඇති බවය.

තවද මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේදී උචිත ලකුණ සළකුණු කිරීම සඳහා සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවට බෙදීම සඳහා ලබා දුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 94%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෙදා හැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවද පැවසුවේ අදින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මැතිවරණ දිනයය දක්වා වූ කාලය තුළ තමන්ට අයත් තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලය වෙත පිවිස සිය අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved