ලෝක පරිසර දිනය (World Environment Day) අදට (ජූනි 05) යෙදි තිබේ.
1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි.
මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති.
2025 වසරේදී “Ending plastic pollution ” ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිම සිදුවේ.
මෙම ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිතය.
සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට එය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව මැයි මස 30 දින සිට ජූනි 05 දින දක්වා සතිය ” ජාතික පරිසර සතිය ” ක්‍රියාත්මක විය.
මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිසර සතිය තුල අද දිනය (ජුනි 05 )
රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වෙන්කර තිබේ.
මෙම පරිසර සතිය තුල දී පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීම සිදු වූ අතර මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ගණනාවක් ඒ අතර විය.
අද දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.