Connect with us

පුවත්

ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත ගැන නිවේදනයක්

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීරණය මතු සඳහන් පරිදි වේ:—

(1) පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.

    පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ  භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනනුකූලතාවය අවසන් වනු ඇති බව නිවේදනයේ සඳහන් වේ.

(2) පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 53 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(3) පනත් කෙටුම්පතේ 11(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවද නිවේදනයේ දැක්වේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 54 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(4)  ප්‍රධාන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් කරුණු අතර, ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් කරනු ලබන පනත් කෙටුම්පතේ 13 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.

    ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් නොකිරීමෙන් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත;

(5) පනත් කෙටුම්පතේ 24(1)(අ), 25 සහ 46(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.

    එම වගන්ති ඉවත් කිරීමෙන් අනනුකූලතාවය අවසන් වනු ඇත;සහ(6) පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 55 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද නියෝජ්‍ය කථානායකවරයා නියෝග කළේය.

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

පුවත්

සබරගමුව සරසවියේ අවුල් හොයන්න ස්වාධීන කමිටුවක්!

Published

on

By

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  මතුව තිබෙන සියලු  දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්)  නිර්දේශ කරන ලදී. 

එහිදී  වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා  වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ  2023 මූල්‍ය  වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී  සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ  අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය. නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඒ මහතා පැවසුවේය.  එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ  බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව පාලනාධිකාරිය අතින්  යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම්  පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත් කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීම පිළිබඳ  සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අභ්‍යන්තරව අවසර ලබා දුන්නද  පසුව එය වැරදි ක්‍රියාවක් යැයි  හැඟී යාමෙන් පසු  නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබා නොදුන් බව  විශ්වවිද්‍යාල බලධාරීහු මෙහිදී අදහස් දක්වමින්  පැවැසුහ. කෙසේ වෙතත්  2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙ‍ෙලස පස් කපාගෙන යාම සම්බන්ධව  විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ පාලනාධිකාරිය දැනුවත් කලද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක්  ගොනු කර ඇත්තේ 2024 වසරේදී බව කාරක සභාවේදී අනාවරණය  විය.

මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු පෙන්වා දුන්නේ සමස්ථයක්  ලෙස  වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ  ලියාපදිංචි නොවන බව  පැවසුහ. කෙසේ වෙතත්  වටකිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව  සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ ඒ අනුව රාජ්‍ය  විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම දැඩිව අවධානය යොමු කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය  කළේය.

තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුනත්  ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක්  ගැනීම හා පැති බැම්ම පුපුරා යමා ආදී  ගැටලු  රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින්  පෙන්වා දෙන ලදී. ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය( CECB ) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුනද ක්‍රීඩාපිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව   විගණනය විසින් පෙන්වා දෙන ලදී. ඒ හේතුවෙන්   ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය  හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.  

මේ සම්බන්ධව කරුණු විමසීමේදී  විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩාපිටියේ  වේයන්ගේ පස්  තැනින් තැන මතුවන බවයි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාරනොදීම පිළිබඳව විමසා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට  වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ  අධීක්ෂණ කටයුතු සිදුකිරීම  පිළිබඳවද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියේය. ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ  තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය  නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර  වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට බාර දී ඇති බව  කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර  විශ්වවිද්‍යාලයේ  කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක්  ඉදිකිරීමේදී  වැඩ ඉංජිනේරුවරයාගේ සහතිකය මත  අදාළ  කොන්ත්‍රාත්කරු  ඉල්ලුම් නොකළ  ලක්ෂ 26කට අධික මුදලක්  ලබා දී ඇති බවද  මෙහිදී අනාවරණය විය.

එමෙන්ම  විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ  කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර,  ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන්ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබු අතර එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක්ද නිකුත් කර තිබුනත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබුණි.  

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක්  නැවත සිදු නොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා  ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබු නමුත් ඔහුද මාස 4කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී  ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම  සේවා පහසුකම් වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කලද  එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන්  ඉල්ලා අස්වීම පිළිබඳවද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගරු නීතිඥ දයාසිරි ජයසේකර, එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ,  සුදත් බලගල්ල, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස  කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත භාරදී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved