Connect with us

පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වේ

Published

on

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස් වූ අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය  කෙරිණි .

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, වී මිලදී ගැනීම සඳහා  මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී  ගන්නා වී ප්‍රමාණය පිළිබඳ  පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි .  

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයින්ට උපදෙස් දෙන ලදී.

ඒ අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

අග්‍රාමාත්‍ය ලේකම්  ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved