Connect with us

පුවත්

ඇතැම් බන්ධනාගාර තුළ තදබදය 300% – 400%කින් වැඩිවෙලා!

Published

on

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිහිටුවීමේ පවතින පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව පනතක් සකස් කරන ලෙස ලෙස මීට පෙර කෝපා කමිටුවෙන් නිර්දේශ කර තිබියදීත් එම කටයුතු ප්‍රමාදවීම වීම කෙරෙහි කමිටුවේ අප්‍රසාදය පළ විය. ඒ අනුව මෙම කටයුතු අවසන් කිරීම පිළිබදව නිශ්චිත කාල රාමුව සහිත වාර්තාවක් ජූලි 10 වන විට ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා නියෝග කළේය.

බන්ධනාගාර වල තදබදය වැඩිවෙයි ; මත්ද්‍රව්‍යආශ්‍රිත වැරදිකරුවන් ඉහළට
බන්ධනාගාර තුළ ධාරිතාව ඉහළ ගොස් ඇති බවත් මෙම අගය සාමාන්‍යයෙන් 259%ක අගයක් ගන්නා බවත් ඇතැම් බන්ධනාගාරවල මෙම අගය 300% – 400% ක වැඩිවීමක් ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. මේ අනුව බන්ධනාගාර තුළ රැදවුවන් 11762 ක සංඛ්‍යාවක් සදහා පමණක් ඉඩකඩ පැවතියද මේවන විට 26791 ක ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටින බව ද මෙහිදී අධිකරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අනාවරණය කළාය.

මෙම සංඛ්‍යාවෙන් 17502 ක් රිමාන්ඩ් සිරුකරුවන් බවද ඉන් 10470ක්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවද මෙහිදී හෙළිවිය. එසේම වැරදිකරුවන් බවට අධිකරණයෙන් නියමවූ පුද්ගලයන් 9289 ක් සිටින බවත් ඉන් 3569ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවත් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මේ අතරින් 1309 ක් දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරතව සිටින පිරිස බවද මෙහිදී අනාවරණය විය.

දඩමුදල් ගෙවාගත නොහැකි පිරිසට වෙසක් පොසොන් වැනි අවස්ථාවලදී විශේෂ සමාව යටතේ නිදහස් කළද නැවත කෙටිකලක් තුළ වැරදිකරුවන් ලෙස බන්ධනාගාරගතවීම විශාල ගැටලුවක් බවද අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා මෙහිදී පැවසීය.

මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව නව මධ්‍යස්ථාන 9 ක පුනරුත්ථාපන කටයුතු සිදුවන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මෙම තත්ත්වය පාලනය සදහා අවශ්‍ය යෝජනා සහ සැලසුම් කඩිනමින් සකස් කොට ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට කමිටුව දන්වා සිටියේය.

සේවක පුරප්පාඩු
එසේම මේ වන විට සිටිය යුතු සමස්ත සේවක සංඛ්‍යාව වන 7872න් පුරප්පාඩු 1663ක් පවතින බවද අනාවරණය විය. මේවා සම්පූර්ණ කිරීමට මෙන්ම සමස්ත සේවක සංඛ්‍යාවේ වැඩිවීමක් අවශ්‍යනම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද කෝපා සභාපතිවරයා උපදෙස් දෙන ලදී.

බන්ධනාගාරය තුළ පුද්ගල ශරීර පරීක්ෂාව සිදුකරන සහ භාණ්ඩ මලු පරීක්ෂාව සදහා පවතින යන්ත්‍ර 11කින් 4ක් ක්‍රියා විරහිත බවද අනාවරණය විය. මෙම  යන්ත්‍ර වසර 10කට වැඩි කාලයක් පැරණි බැවින් අලුත්වැඩියාවට යන වියදමට සාපේක්ෂව නව යන්ත්‍ර මිලදී ගැනීම ලාබදායී බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව සියලු බන්ධනාගාරවලට අදාළව අවශ්‍ය යන්ත්‍ර පිළිබදව සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.  

බන්ධනාගාරය තුළ දුරකථන සංඥා ක්‍රියා විරහිත කරන ‘ජෑමර්’ උපකරණ නිසා අවට ප්‍රදේශවල ද සංඥා ක්‍රියාත්මක නොවිීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය. දැනට ‍යුධ හමුදාවේ සංඥා බලකාය මගින් මෙම කටයුතු සිදුකරන බවත් අදාළ ප්‍රදේශයට පමණක් ඉතා නිවැරදීව ක්‍රියාත්මක වන තාක්ෂණයක් මේවන විට දියුණු රටවල පවතින බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඒ අනුව අදාළ ආරක්ෂක අංශ සමග මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග මේ පිළිබද සාකච්ඡා කොට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කමිටුව විසින්  උපදෙස් දෙන ලදී.

රසපරීක්ෂක වාර්තා
රසපරීක්ෂක වාර්තා පමාවීම පිළිබදව ද කමිටුවේ සාකච්ඡා විය. මෙහිදී රජයේ රසපරීක්ෂක දීපිකා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ විද්‍යාත්මක නිලධාරීන් බහුතරයක් විදේශගතවීම නිසා පුරප්පාඩු 25ක් පවතින බවයි. කෙසේ වෙතත් ලබා දීමට නියමිත වාර්තා ප්‍රමාණය  3944 ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් තවත් නිලධාරීන් 15ක් කොන්ත්‍රාත් පදනම යටතේ බදවාගෙන කඩිනමින් ගොඩගැසී ඇති ප්‍රමාණය අවසන් කරන බවත් ඇය පවසා සිටියාය.  එසේම 2021, 2022 වසරවල සාමාන්‍යයෙන් මසකට ලබා දිය යුතු වාර්තා ප්‍රමාණය 1200-1500 අතර වුවද මේ වසරේ මසකට 2500 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් පවසා සිටියාය. ඉන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සිද්ධීන් බවත් මෙහිදී හෙළිවිය. අවශ්‍ය සේවක සංඛ්‍යාව සම්පූර්ණ කොට මෙම කටයුතු විශේෂ කාර්යක් සේ සලකා කඩිනමින් ඉටුකරන ලෙස කමිටුව උපදෙස් දුන්නේය.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධ නිවැරදි පරිගණක දත්ත පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව, ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී සිරකරුවන්ගේ ආහාර සැපයීම සදහා අතාත්වික මිලගණන් යොදා ටෙන්ඩරය ලබා ගැනීමෙන් අනතුරුව ආහාර ප්‍රමිතිය අඩුකිරීම යනාදි කරුණු පිළිබදවද සාකච්ඡා විය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved