පුවත්

ඇමති කෙහෙලිය, චන්ද්‍රපාල හා රූබසිංහට විදෙස් ගමන් තහනම්

Published

on

ජනමාධ්‍ය ඇමැතිවරයාව කටයුතු කරමින් සිටියදී අත්‍යවශ්‍ය නොවන මොහොතක රූපවාහිනී සංස්ථාවට ජී අයි බට මිල දී ගනිමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට අධිචෝදනා බාර දුන් කොළඹ මහාධිකරණය සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසට ඊයේ (22) නියෝග කළේය.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ හා හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරුන්ට මෙලෙස අධි චෝදනා බාර දුන්නේය.

රුපියල් විසි දහස බැගින් වූ මුදල් ඇප, රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප දෙක බැගින් විත්තිකරුවන්ට නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාග කර අවසන් වන තුරු විදේශ ගමන් තහනම් කරන බව ද, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කළ යුතු බවටද නියෝග කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් පසු මුදා හරින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අය වැය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට යාමට අවශ්‍ය බැවින් කඩිනමින් ඔහු මුදා හරින ලෙසට අධිකරණ පොලිසියට නියෝග කළේය .

ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 නොවැම්බර් 25 වැනි දින රූපවාහිනියේ ප්‍රවර්ධන වැඩසටහනක් යැයි පවසමින් රූපවාහිනියට අත්‍යවශ්‍ය නොවන මොහොතක ජී අයි බට 600ක් මිල දී ගනිමින් රුපියල් නව ලක්ෂ අනූදහසක පාඩුවක් රජයට කළේ යැයි පවසමින් දූෂණය නම් වරද කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා හතරක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබිණි.

නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය 2023 පෙබරවාරි 01 වන දින කරන බවට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥ හේමන්ත ගමගේ මහතා පෙනී සිටි අතර, අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

එම විරෝධතාවය ඉදිරි දිනයේ දී ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා දන්වා සිටියේය.

නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 01 දිනට නියම කෙරිණි.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version