තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට විරුද්ධව දිගින් දිගටම එල්ලවන චෝදනා හේතුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව සභාපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විනයාගමූර්ති සහදේවන් නමැත්තාගේ අවිධිමත් පරිපාලනය සම්බන්ධයෙන් ඇමැතිවරයා විසින් මීට පෙරද ඔහුට තරයේ අවවාද කර තිබිණි.
පෙරේදා (26) ද ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ඔහුට අවවාද කර ඇතැයි පැවසේ.
මණ්ඩලයේ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් නැවත සේවයේ පිහිටුවීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් නොතකා කටයුතු කිරීම සහ වාර්ෂික වාර්තා බාරදීමට කටයුතු නොකිරීම ආදී චෝදනා රැසක් සභාපතිවරයාට එල්ලවී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
තවද දූෂණ චෝදනා සහිත සේවකයන් සම්බන්ධව කොළඹ ප්‍රධාන කාර්යාලයේ තිබෙන ලිපි ගොනු යාපනය කාර්යාලයට රැගෙන යාමට එම සේවකයන්ම යෙදවීමට මෙම සභාපතිවරයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වේ.
යාපනයේ සේවක විරෝධය…
මීට පෙර, ජනාධිපතිවරයා තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කළ විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත වූහ.
ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති බවත්, වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවත් කියමින් විරෝධතාවයේ නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ ගැන තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යවා තිබිණි.
දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සඳහන්ව තිබූ බව පැවසේ.
මෙම පත්වීම් මැතිවරණ ක්ෂේත්‍රය තුළත් පසුගිය කාලයේදී ආන්දොලනයට පත්විය.
මෙම පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (ටී.අයි.එස්.එල්.) මැතිවරණ කොමිෂන් සභාවටත් පැමිණිලි කර තිබිණි.
මුලින්ම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි මහතා පත්කර තිබුණු අරත ඊට දින 12කට පසුව එම වසරේම ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත් කොට ප්‍රශ්නගත තත්ත්වය මතුකර ඇති විනයාගමූර්ති සහදේවන් මහතා ජනපතිවරයා විසින් පත් කර තිබිණි.
කෙසේවුවද, මෙලෙස ප්‍රධානීන් වෙනස් කිරීම සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පනවා ඇති සීමාවන් නොතකා විෂයභාර අමාත්‍යවරයා ක්‍රියා කිරීමක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය.
සබැඳි පුවත්