Connect with us

පුවත්

ඇමැති වරදාන මෙන්න; නිල වාහන 2යි, තෙල් ලීටර් 900යි, උපදේශක කණ්ඩායමයි, ෆෝන් 5යි

Published

on

නව රජයේ ඇමැතිවරයකු සඳහා 15 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලක්ද, නියෝජ්‍ය ඇමැතිවරයකු සඳහා 12 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක්ද ඇතුළුව ලබා දෙන පහසුකම් හා දීමනා සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඉකුත් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙය නිකුත් කර ඇත.උපදේශක නඩේ….

පීඑස්/සීඑස්ඒ/00/1/4/12 අංක යටතේ නිකුත් කරන ලද මෙම චක්‍රලේඛයට අනුව සෑම ඇමැතිවරයෙකුටම සිය අමාත්‍යාංශයේ කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට සහාය වීම සඳහා උපදේශකවරයෙක් හෝ උපදේශක කණ්ඩායමක් පත්කර ගත හැකිය.

අදාළ අමාත්‍යාංශයේ විෂය පථය සම්බන්ධ දැනුමක් සහිත උගතුන්, පර්යේෂකයින්, වෘත්තීයවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයින් මෙම උපදේශකයින් ලෙස පත් කළ යුතුවේ.

කිසියම් අමාත්‍යාංශයක විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අවස්ථාවලදී එක් එක් විෂය ක්ෂේත්‍රය සඳහා උපදේශකවරුන් දෙදෙනකු උපරිම වශයෙන් බඳවා ගැනීමට අදාළ ඇමැතිවරයාට හැකියාව ඇත.පඩිය…

මෙම උපදේශකවරුන්ගේ සේවය ගෙවීමේ පදනමින් හා පූර්ණ කාලීනව සේවය කිරීමේ පදනමින් ලබාගත හැකි අතර, අදාළ උපදේශකවරයාගේ අධ්‍යාපන,වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද මත පහසුකම් හා ලබාදෙන දීමනාව කොපමණදැයි තීරණය කළයුතු වේ. 

මෙම දීමනා ගෙවීමේදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 තනතුරු වලට ගෙවන වැටුප ඉක්මවා නොයා යුතුය. (දීපව්‍යාප්ත සේවා විශේෂ ශ්‍රේණියේ වැටුප/විශේෂඥ වෛද්‍යවරයෙකුට ගෙවන වැටුප)

උපදේශක මණ්ඩලය පත්කිරීමේ බලතල ඇමැතිවරයාට පවරා ඇති අතර,එම පත් කිරීම් සම්බන්ධව අමාත්‍ය මණ්ඩල සටහනක් මගින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතුය.15ක සෙට් එකක්…

ඇමැතිවරයෙකු සඳහා 15 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක්ද,නියෝජ්‍ය ඇමැතිවරයෙකු සඳහා 12 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්ද පත්කර ගතයුතුවේ.

ඒ අනුව, ඇමැතිවරයෙකු සඳහා පෞද්ගලික ලේකම්වරයෙකු, සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනකු, මාධ්‍ය ලේකම්වරයෙකු, මහජන සම්බන්ධතා නිධාරියෙකු, පෞද්ගලික සහකාරවරයෙකු, කළමනාකාර සහකාරවරුන් පස් දෙනකු, කාර්යාල කාර්ය සහයකවරුන් දෙදෙනකු, රියදුරන් දෙදෙනකු පත්කර ගත හැකිය.නියෝජ්‍ය ඇමතිගේ…..

නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ කාර්ය මණ්ඩලය සඳහා පෞද්ගලික ලේකම්වරයෙකු,සම්බන්ධීකරණ ලේකම්වරයෙකු,මාධ්‍ය ලේකම්වරයෙකු,මහජන සම්බන්ධතා නිලධාරියෙකු,කළමනාකාර සහකාරවරුන් තිදෙනකු,කාර්යාල කාර්ය සහකාරවරුන් දෙදෙනකු සහ රියදුරන් දෙදෙනකු පත්කර ගැනීමට හැකිය.

රාජ්‍ය වියදම් අවම කිරීම සඳහාත්,රාජ්‍ය සේවයේ මානව සම්පත ඵලදායි ලෙස සේවයේ යොදා ගැනීම සඳහා පෞද්ගලික සහකාර, කළමනාකාර සහකාර, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු යන තනතුරුවලට කාර්ය මණ්ඩලය හැකිතාක් දුරට රාජ්‍ය සේවයේ නිරත පිරිස අතරින්ම තෝරාගත යුතු බවද අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්,මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී පත් කළ යුත්තේ අදාළ ඇමැතිවරයාගේ,නියෝජ්‍ය ඇමැතිවරයාගේ ධුර කාලයට පමණක් සීමාවන පරිදි තාවකාලික පදනම මතය.එමෙන්ම,එම තනතුරු සඳහා ඇමැතිවරයාගේ,නියෝජ්‍ය ඇමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප ඥාතීන් පත්කර නොගත යුතුය.වාහන 2යි, කුලියට උනත් කමක් නෑ…

ඇමැතිවරයෙකුට නිල වාහන දෙකක්ද, නියෝජ්‍ය ඇමැතිවරයෙකුට නිල වාහන දෙකක්ද උපරිම වශයෙන් භාවිතා කළ හැකිය.

ඒ සඳහා රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක වාහන යොදා ගන්නේනම් හෝ බාහිරින් කුලී පදනම මත ලබා ගන්නේනම් එහි වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බාරගත යුතුවේ.

කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්,මහජන සම්බන්ධතා නිලධාරී යන නිපධාරීන්ට එක් නිල වාහනය බැගින් හිමිවේ.

ඇමැතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ නිල වාහන සඳහා එක් මාසයකට උපරිම ඉන්ධන ලීටර් 900 ක ප්‍රතිපාදන ලබාදේ. ෆෝන් 5යි..කතා කාලය විසිදාහයි

ඇමැතිවරයෙකුට, නියෝජ්‍ය ඇමැතිවරයෙකුට නිල රාජකාරි සඳහා උපරිම දුරකථන සම්බන්ධතා පහක් හිමිය.

ඒ අනුව, කාර්යාලයට දුරකථන සබඳතා දෙකක්ද, නිවාසයට එක් දුරකථන සබඳතාවයක්ද, ජංගම දුරකථන සබඳතාවයද,කාර්යාල ෆැක්ස් සබඳතාවයද හිමිවේ.

කාර්යාල සහ නිවාස දුරකථන සඳහා උපරිම සීමාව රුපියල් 20,000 ක් වන අතර, ජංගම දුරකථන සඳහා උපරිම සීමාව රුපියල් 10,000 කි.

පෞද්ගලික ලේකම්වරයාට කාර්යාල ෆැක්ස් පහසුකම සහ දුරකථන සබඳතා දෙකක්ද, සම්බන්ධීකරණ ලේකම්වරයාට දුරකථන සබඳතා දෙකක්ද, මාධ්‍ය ලේකම්වරයාට ෆැක්ස් පහසුකම සහ දුරකථන සබඳතා දෙකක්ද, මහජන සම්බන්ධතා නිලධාරිවරයාට දුරකථන සබඳතා දෙකක්ද හිමිවේ. 

පෞද්ගලික ලේකම්වරයාගේ දුරකථන වල උපරිම සීමාව රුපියල් 6,000 ක්ද, සම්බන්ධීකරණ ලේකම්වරයාගේ රුපියල් 5,000 ක්ද,මාධ්‍ය ලේකම්වරයාගේ රුපියල් 5,000 ක්ද, මහජන සම්බන්ධතා නිළධාරිවරයාගේ රුපියල් 5,000 ක්ද වේ.

ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන හා උපකරණ ලබා නොදිය යුතු බවද අදාෙළ චක්‍රලේඛයේ දැක්වේ. 

අමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලබාදෙන මෙම පහසුකම් වලට අමතරව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වන එක් දිනයක් සඳහා රුපියල් 2500 ක පැමිණීමේ දීමනාවක්ද, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 බැගින්ද,කාර්යාලයක් පවත්වාගෙන යාමට මාසයකට රුපියල් ලක්ෂය බැගින්ද හිමිවේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද මෙම දීමනාව හිමිවේ.

මන්ත්‍රි දීමනා වැටුප රුපියල් 54,285 ක් වන අතර, සංග්‍රහ දීමනාව රුපියල් 1000 කි.

පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනකුට කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙකුට මාසිකව රුපියල් 2,500 ක දීමනාවක්ද ගෙවන්නේය.

මන්ත්‍රිවරයෙකු තමන් තේරී පත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කල ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළෙඳපොල මිල ගණන් අනුව ගෙවීමක්ද කරන්නේය.

සෑම මන්ත්‍රිවරයෙකුටම වාර්ෂිකව රුපියල් 350,000 ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රුපියල් 87,500 බැගින්) ලබා දෙනු ලබයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading

පුවත්

හේමසිරි සහ පූජිතගේ නඩුව කල් යයි

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ජූලි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද (30) නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරුතුමිය විසින් පත් කරන තෙක් බලා සිටින බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල නඩු ජුලි මස 28 වන දා යළි කැඳවීමට නියම විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබුණි.

එහෙත් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.

එම ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙසය.

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved