Connect with us

පුවත්

“ඈන්ස්ලම්” මුසාමීල්ගේ පුත්‍රයාට අයත් W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය ගැන වමාරයි! 

Published

on

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා විසින් බව ඒම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.

ඒ, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ ඊයේ සිව්වැනි දිනටත් පෙනී සිටියේය.

එහිදී, 24 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති දැනට වැඩතහනමකට ලක්ව සිටින කොළඹ අපාරධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතාගෙන් කමිටුව ඉදිරියේ සාක්ෂි විමසමින්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළේ, නඳුන් චින්තක නොහොත් හරක් කටා පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් ලැබුණේද යන්නය.

ඊට පිළිතුරු ලෙස ඈන්ස්ලම් ද සිල්වා මහතා මෙලෙස සඳහන් කළාය.

“2023 දෙසැම්බර් 30 වැනිදා, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත්, එම ස්ථානයට ගොස් තාප්පයට සහ නම සඳහන් බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් කිව්වා. ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. වෙඩි තැබුවාට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යනකොටම තවත් වෙඩි සද්දයක් ඇහුණා. එතකොට අපි දැක්කා අපිත් එක්ක ගිය උපුල් කියන නිලධාරියා වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. මම එතකොටම මා සමග සිටි අයට ‘ඉක්මණට පලයන්’ කියලා කිව්වා. එතන STF එකේ 20ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුණ නිසයි අපිත් අද ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් උපුල් එක්ක අපිත් මැරිලා.

ස්වාමීනි නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරලා තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ “

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී ප්‍රශ්න කළේ, දේශබන්දු මේ ගැන ඔයාලගෙන් විමසුවාද? යන්නය.

“නැහැ” යනුවෙන් ඈන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

එවිට, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,

” මරණ පරීක්ෂණය සිදුකරන වෙලාවේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔබ සඳහන් කරලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා. එතකොට මේ කතාව කවුද නිර්මාණය කළේ?” යනුවෙන් විමසීය.

“සිද්ධියෙන් පස්සේ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියේ කතාවක් කිව්වොත් අපිට අවුලක් නැතිවෙයි කියලා කිව්වා. ඒ අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියලා සාමූහික ස්ථාවරයකට ආවේ. ඒ නිසා අපි කතාව ඒ විදිහට කිව්වා. මරණ පරීක්ෂණයේදිත්, මහේස්ත්‍රාත් අධිකරණයේදීත්, පළමු වරට ප්‍රකාශ ලබාදීමේදී අපි කිව්වේ නිර්මාණය කළ කතාවක්. අපිට තේරුණා මේ ප්‍රශ්නය දිගටම යනවා කියලා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණයට ගිහින් මම ඇත්ත කතාව කිව්වා” යනුවෙන් ඈන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නේය.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්.වීරවික්‍රම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.

“වැලිගම W 15 හෝටලයට වෙඩි තබන්නැයි නියෝග ලබාදුන් විටත් දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසිම දේපළකට වෙඩි තියන්න බැහැ කියලා පොලිස් නිලධාරියෙක් විදියට ඔබ දැනසිටියේ නැද්ද ?

“අපි දැනුවත්ව තමයි ඒ දේ කළේ. නෙවිල් ද සිල්වා මහතාගේ නියෝගයක් නිසා අපි වරදක් කරන්නේ කියලා දැන දැනම මේ දේ කළා.”යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

එහිදී නිතිඥවරයා විමසා සිටියේ, “නීති විරෝධී නියෝගයක් විට ඇයි ඒ බව පොලීසියේ ප්‍රකාශ සටහන්වල නොලිව්වේ?” යනුවෙනි.

“ඉහළින් ලැබෙන සියලු වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි පොලීසිය ඇතුළේ ඉන්නනම් අපිට ඉහළින් ඉන්න නිලධාරින් කියන දේවල් කරන්න වෙනවා. නැත්නම් අපිට පොලීසියේ රැඳීඉන්න බැහැ” යනුවෙන් සාක්ෂිකරු පිලිතුරු ලබාදුන්නේය.

නෙවිල් සිල්වා කියන අධ්‍යක්ෂවරයාට ඉහළින් ඉන්න පොලිස්පති හෝ නිලධාරීන්ට ඇයි මේ බව නොකිව්වේ? යනුවෙන් විමසීමේදී සාක්සිකරු සඳහන් කළේ “එහෙම කිව්වත් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසයි මම කිව්වේ නැත්තේ” යනුවෙනි.

ඔබත් එක්ක වෙඩි තියන්න ගිය කණ්ඩායමේ 08 දෙනාගෙන් එක්කෙනෙක් මැරුණා. 06 දෙනෙක් විතරයි මෙතන ඉදිරිපත්වෙලා තියෙන්නේ. එතකොට අනෙක් කෙනාට මොකද වුණේ? යනුවෙන් නිතිඥවරයා සිදුකළ විමසීමට පිලිතුරු ලෙස සාක්ෂිකරු සඳහන් කළේ, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී විදෙස්ගතවී ඇති බවය.

එමෙන්ම, එදින වැලිගමට යෑමේදී ව්‍යාජ අංක තහඩු දෙකක් රැගෙන ගියේ මන්දැයි සිදුකළ විමසීමට පිළිතුරු ලෙස සාක්ෂිකරු මෙලෙස සඳහන් කළේය.

“අපි ගියේ පොලීසියේ වාහනයකින්. ඒක නිසා අංක තහඩු සියල්ල සටහන් වෙනවා. ඒ නිසා අපි ව්‍යාජ අංක තහඩු දෙකක් අරන් ගියේය.

ඉහළ නිළධාරීන් අපිට ලබාදෙන තීන්දු තීරණ නිසයි මාව වැඩතහනමට ලක්වෙලා තියෙන්නේ. අද මට විශ්‍රාම වැටුපවත් ගන්න විදියක් නැහැ. අනෙක් සියලු නිළධාරීන් මේක ආදර්ශයක් කරගන්න. මේ වගේ නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් ගියත් මීට වඩා හොඳයි”වැලිගම W 15 හෝටලය හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් නැතිනම් හාඩිට අයත් එකකි.

පුවත්

හල්ලොලුව ජුනි 20 දක්වා රිමාන්ඩ්

Published

on

By

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා

Published

on

By

එළඹෙන ජූනි 20 වැනිදා ඇතිවන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා පත්කරන ලෙස, අභියාචනාධිකරණ වැඩබලන සභාපති එම්.ටී. මොහොමඩ් ලෆාර්ගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇතයි වාර්තා වේ.

ජනාධිපතිවරයා ලෆාර් මහතාගේ නම සභාවට යවා ඇත්තේ පසුගිය ජූනි 09 වැනිදාය.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයක් හිස්වන්නට නියමිතව ඇත්තේ ජූනි 20 වැනිදා වන අතර ඒ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම ගැනීම නිසාය.

සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් පුරප්පාඩු වනතෙක් එම ධූරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නොයව බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ කියති.

ඒ අතර වාර්තා වන්නේ, අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර්, මෙම ජූනි මස 18වැනිදා (එනම් ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව ඇතිවීමට දින දෙකකට පෙර) සිය වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ලැබීමට නියමිත බවයි. 

ජනාධිපතිවරයා ලහි ලහියේ ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා ඇත්තේ, ඔහු විශ්‍රාම ගැනීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට විය හැකි බව වාර්තා වේ.

(ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නේ වයස අවුරුදු 65 දීය) එහෙත් එවැනි සම්ප්‍රදායක් අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැත නැතැයි අධිකරණ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉහළ අධිකරණවලට පත්කිරීම් පිලිබඳ සිය තීරණය ගැනීමට පෙර අගවිනිසුරුවරයාගේ / වරියගේ අදහස විමසිය යුතුය. 

ඒ නිසා අගවිනිසුරු නිර්දේශය එම විනිසුරුවරයා / වරිය නම් කිරීමට පෙර ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. 

එහෙත් දැනගන්නට තිබෙන පරිදි ලෆාර් විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශය ද මෙතෙක් ලැබී නැතැයි පැවසේ.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හතරක් සඳහා පුරප්පාඩු ඇතිවූ විට, ඒ සඳහා අගවිනිසුරුවරිය නිර්දේශ කල නම් වලද ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වුවත් ලෆාර් මහතාගේ නම නොතිබූ බවද වාර්තා වේ.

ඒ නිසා ජනාධිපතිවරයාද ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා නොකළේය. 

ඒ හේතුවෙන් ලෆාර් මහතාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුද, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි සෝභිත රාජකරුණා හා මේනකා විජේසුන්දර යන විනිසුරුවරු ද අගවිනිසුරුවරියගේ නිර්දේශය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම් ලදහ.

මූලාශ්‍රය – අනිද්දා පුවත්පත

Continue Reading

පුවත්

උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවයි

Published

on

By

පස්වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කල හැකිය.

ඒ අනුව අද (13) දින සිට එළැඹෙන ජූනි 27 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved