Connect with us

පුවත්

ඉදිරියේදී පාතාලය අවසන් කරන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජනාධිපති

Published

on

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී එතුමාගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය. 

මෙහිදී මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවත්ය.

මේ අතර, උතුරු නැගෙනහිර පළාත්වල යුධ හමුදා කඳවුරු සහිත ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කළහ. මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටියේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයිනේම ත්‍රිවිධ හමුදාව භාවිතා කරන ඉඩම් පිළිබද නැවත විගණනයක් හෝ ඇගයීමක් සිදුකර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණයන් ගන්නා බවයි. 

හමුදාව මගින් පාලනය වන සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාර, සංචාරක කර්මාන්තය සඳහා වඩාත් ඵලදායි ආයෝජන කෙරෙහි යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී විමසීම් කළහ. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධ‍යෙන් අධ්‍යයනයක් සිදුකර ආර්ථික ප්‍රතිලාභ සඳහා ඒවා යොදා ගැනීම පිළිබඳව තීරණය කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

උතුරු පළාතේ ස්ථාපිත ඇතැම් සිද්ධස්ථාන මුල්කොටගෙන යම් වාර්ගික හා ආගමික බෙදීම් ඇති විමේ හැකියාවක් ඇති බව මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආගමිකවාදය සහ ජාතිවාදය දේශපාලනයෙන් සහමුලින්ම ඉවත්විය යුතු බවයි. එම ප්‍රදේශයේ පුරවැසියන්ගේ අවංක උවමනාව මත මෙම සියලු ප්‍රශ්න විසඳාගතහැකි බවත් ඇතැම් පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් මෙවැනි අවස්ථාවන් දේශපාලන ගැටලු බවට පත් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. එබැවින් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය සහ ආගම්වාදය ඇතිකිරී‍මට කිසිවෙකුට ඉඩ නොතැබීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය. 

එසේම ජාතික ආපදා කමිටුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දින නියම වේ.

Published

on

By

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවය.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවීමටද නියම වුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදෙයි

Published

on

By

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේය.

එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියම කළේය.

එම අවස්ථාවේදී  විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරදක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.

එහිදී විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසය.

ඊන අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සංඛ්‍යාව  05කි.

සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර තිබේ.

Continue Reading

පුවත්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

Published

on

By

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පත් කර තිබේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාය.

ඒ මහතා පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved