පුවත්

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය කල් යයි (Update)

Published

on

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම සංචාරය සඳහා නව දිනයන් පසුව තීරණය කෙරෙනු ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය – ශ්‍රී රාජ්නාත් සිං මහතා හෙට හා අනිද්දා (සැප්තැම්බර් 02-03) දිනවල මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබුණි.

————————————————–

(පෙර පුවත 2023 සැප්තැම්බර් 01, ප.ව.06:02)

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා නුවරඑළියේ හා ත්‍රි’මලේ සංචාරයක

ඉන්දියාවේ මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය – රාජ්නාත් සිං මහතා හෙට හා අනිද්දා (02-03) දින වල මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිං මහතා ගේ සංචාරය අතරතුරදී ඔහු ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාව හමුවීමට නියමිත බවයි.

ඔහු නුවරඑළිය හා ත්‍රිකුණාමලය යන නගර වල සංචාරය කිරීමට නියමිත බවද එහි දැක්වේ.

සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය, ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින මිත්‍රත්වය හා බැඳීම් තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

‘INS Delhi’ ඉන්දීය යුද නැව කොළඹට

මේ අතර, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘INS Delhi’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක (450) ගෙන් සමත්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අභිෂේක් කුමාර් (Captain Abhishek Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර, නිල හමුවක් අද උදෑසන (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

එමෙන්ම, ‘INS Delhi’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘INS Delhi’ නෞකාව නැරඹීම සඳහා පාසල් ළමුන් හට අවස්ථාව ලබාදීමටත්, නෞකාව තුල පුහුණු හුවමාරු වැඩසටහනක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇති අතර, නෞකාව 2023 සැප්තැම්බර් මස 03 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටත් නියමිතව ඇත.

(Pics : navy.lk)

Trending

Exit mobile version