පුවත්

ඉන්දීය හමුදාව යළි උතුරු නැගෙනහිරට ආවොත් යැවීම අපහසුයි – විග්නේෂ්වරන්

Published

on

ශ්‍රී ලංකාවට යළි ඉන්දීය හමුදාව ගෙන එන ආකාරයේ පසුබිමක් නිර්මාණය නොකරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කියයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ පෙරේදා (04) යාපනයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දේශීය හා විදේශීය මාධ්‍ය කීපයක දෙනෙකු වෙතය.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෙරදැරි කරගෙන උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට යෑමේ ප්‍රතිඵල භයානක බවද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ඉන් යම් අරගලකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඉන්දියාවට සිය හමුදාව යළිත් උතුරු නැගෙනහිර පළාත්වල ස්ථාපිත කිරීමට බලයක් හා අවස්ථාවක් හිමි වන බවද ඔහු පවසා ඇත.

ඉන්දීය හමුදාව උතුරු නැගෙනහිර පළාත්වලට යළි පැමිණියහොත් ඔවුන් ආපසු යැවීම පහසු නොවන බවත්, ශ්‍රී ලංකාව තුළ වෙනත් විදේශිකයන්ගේ ක්‍රියාකාරකම් තීව්‍ර වී ඇති බව දැනගතහොත් ඔවුන්ට ආපසු යෑමට අවශ්‍යතාවක් නොවන බවත් ඔහු පවසා ඇත.

1983 දී ශ්‍රී ලංකාවේ ඇති වූ අන්දමේ ජාතිවාදී කෝලාහලයක් යළි ඇති වනු ඇතැයි තමන් විශ්වාස නොකරන නමුත් 13 වෙනි සංශෝධනයට අනුව බලය බෙදීමේ හෝ බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට උත්සාහ කළහොත් රට තුළ යම් විනාශකාරී හා ප්‍රකෝපකාරී ක්‍රියාදාමයක් සිදු විය හැකි බව දැනටමත් පෙනෙන්නට ඇතැයිද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අනතුරු හඟවා ඇත.

මූලාශ්‍රය – දිවයින

Trending

Exit mobile version