පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) නියෝග කළේය.
මෙම පෙත්සම ඊයේ (05 ) අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ජාතික වැදගත්කමක් සහිත නඩුකරයක් බැවින් ඒ පිළිබඳව කඩිනමින් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.
මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ද පෙත්සමෙන් චෝදනා කර තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටද එමගින් චෝදනා කර ඇත.
එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.
ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.