පුවත්

ඉන්දු – ලංකා ආරක්ෂක ප්‍රධානීන් හමුවේ (ඡායා)

Published

on

දිවයිනේ නිල සංචාරයකට සහභාගීව සිටින ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දුත පිරිස අද (ජුනි 05) දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. 

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මැතිතුමා ද මෙම සාකච්ඡා වලට සහභාගී විය.

දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, ආරක්‍ෂක ධාරිතාවයන් ඉහළ නැංවීම, හදිසි තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ සදහා සහය වීම  සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු විය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමග පැවති හමුව අතරතුරදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කල අතර, විශේෂයෙන් අසීරු අවස්ථාවන්හි දී ඉන්දියාව විසින් අප වෙත ලබා දුන් සහයෝගයන් වෙනුවෙන් ඉන්දීය ජනතාවට සහ රජයට සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවේදී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තුතිය පුද කරන බව ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වූ ඉන්දීය නිලධාරීන්, ඉන්දු – ශ්‍රී ලංකා සමීප මෙන්ම මිත්‍රශීලී සම්බන්ධතාවය වෙනුවෙන් තම රට කැපවී ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ අතර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව තහවුරු කිරීමට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කලහ.

දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමටත්, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ හමුදාමය ධාරිතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට කැපවී ක්‍රියා කරන බවට ද, දෙපාර්ශ්වයම මෙහිදී එකඟ විය.

(defence.lk)

Trending

Exit mobile version