ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඉලංගෙයි තමිල් අරසු කච්චිහි කමිටුව හෙට (10) රැස්වීමට නියමිතව තිබේ.
ඒ, පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් මහතාගේ කාර්යාලයේදීය.
පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, සී.වී.කේ සිවඥානම්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ සුමන්දිරන් සහ පී. සත්‍යලිංගම් යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්ය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අදාළ කමිටුව පත්කරනු ලැබුවේ, ප්‍රධාන පක්ෂවල ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුවය.
හෙට දින රැස්වන අදාළ කමිටුවේ යෝජනා ලබන 14 වැනිදා රැස්වන පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට නියමිතය.
ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු කච්චි මේ වනවිට ගෙන ඇති තීරණය වෙනස්වීමට ඉඩ ඇති බවට, උතුරු- නැගෙනහිර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ට්විටර් සටහනක් තබමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ, 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවය.
සැප්තැම්බර් මස පළමුවැනිදා සඳහන් කළ පරිදි අදාළ තීරණය පක්ෂයේ සෑම සාමාජිකයෙකුගේම ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් කිසිදු ව්‍යාකූලත්වයක් ඇති නොකරගන්නා ලෙසට එම්.ඒ. සුමන්දිරන් මහතා අවධාරණය කළේය.
මේ අතර දෙමළ ජාතිකවාදී ස්ථාවරය අනුව පොදු දෙමළ අපේක්ෂකයා වන පී. අරියනේන්ද්‍රන් මහතා හට සහාය පළ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියේය.
ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයා හට සහාය පළ කරන බව ඔහු අවධාරණය කළේය.