පුවත්

ඉලෙක්ට්‍රොනික් දත්ත අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයකට චීන – ලංකා ලිපි හුවමාරුවක්

Published

on

ශ්‍රී ලංකාව හා චීනය පසුගිය සතියේදී අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

දෙපාර්ශව විසින් මෙම එකඟතා වලට එළැඹ ඇත්තේ චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ (CIDCA) උප සභාපති ඩ’න් බෝචිං මහතා අප්‍රේල් 04 – 07 දක්වා මෙරට සිදුකළ සංචාරය අතරතුරදීය.

සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් හා හදිසි මානුෂීය ආධාර ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

තවද, මෙරට රජයේ ඉල්ලීම පරිදි, විද්‍යුත් දත්ත අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් ලිපි හුවමාරු කර ගත් බවද චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

මෙම සංචාරයේදී CIDCA උප සභාපතිවරයා විසින් ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හමුවී ඇත.

චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම, දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය සංවර්ධන මුලපිරීම හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම යනාදී කරුණු  ඔවුන් විසින් ගැඹුරින් සාකච්ඡා කළ බවත්, යටිතල පහසුකම් ඉදිකිරීම, සංස්කෘතිය, අධ්‍යාපනය හා  හදිසි මානුෂීය ආධාර සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහය පිළිබඳවද අදහස් හුවමාරු කර ගත් බවත්, එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version