පුවත්

උඩවලව ජලාශයට මොනරාගලින් ජලය

Published

on

ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොනරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මොනරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ වෙතින් කරන ලද ඉල්ලිමක් පරිදි මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලි ඔය අමුණ ඔස්සේ උඩවලවේ ජලාශයට ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා කීය.

ඒ අනුව දිනකට අක්කර අඩි 1200ක ජල ප්‍රමාණයක් උඩවලවේ ජලාශයට ලබා ගැනීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

මෙය ඉතා සුළු ජල ප්‍රමාණයක් වුවද දැනට ජල හිඟය නිසා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කුඹුරු වලින් යම් කොටසක් හෝ බේරා ගැනීමට හේතු වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මේ වනවිට නියඟයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට දෙකක් දක්වා අඩු වී තිබීම හේතුවෙන් උඩවලවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරු වලින් අක්කර 65,000ක්  හානි වීමේ අවදානමට ලක්ව ඇති බවයි.

Trending

Exit mobile version