පුවත්

උත්තර පත්‍ර ඇගැයීමේ දීමනාව දෙගුණයකින් ඉහලට!

Published

on

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ගේ රුපියල් නවසියයක දෛනික සංයුක්ත දීමනාව රුපියල් දෙදහසක් දක්වා ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමස්ත ඇගයීම් දීමනා දෙගුණයකින් ද වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (10) තීරණය කර තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

මෙසේ දීමනා ඉහල දැමීමත් සමඟ උත්තර පත්‍ර ඇගයීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව ඊයේම දෙවැනි වරටත් ගුරුවරුන්ගෙන් අයැදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද මෙම සාකච්ඡාවට කැඳවා අදහස් ලබා ගෙන තිබිණි.

උත්තර පත්‍ර ඇගයීම් සඳහා පහළොස් දහසක පමණ පිරිසක් අයැදුම්කර තිබෙන නමුත් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය වැනි විෂයයන් සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් අයැදුම් කර නැත.

ගුරුවරුන් විශාල පිරිසක් අයැදුම් කර නැත්තේ දෛනික ඇගයීම් දීමනාව වැඩි නොකිරීම නිසාය. 

දීමනා වැඩි කිරීමේ නව තීරණය අනුව ඇගයීම් සඳහා ගුරුවරුන් අයැදුම් කරනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

Trending

Exit mobile version