Connect with us

පුවත්

උතුරු මැද ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට වැඩබලන විදුහල්පතිවරයෙක් රිමාන්ඩ්

Published

on

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම  ප්‍රශ්නපත්‍ර සැලසුම් සහගතව ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කළ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට වට්ස්ඇප් ඔස්සේ යැවීම තුළින් රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩබලන විදුහල්පතිවරයෙකු මේ මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

මෙම ප්‍රශ්නපත්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙකුත් සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කෙරිණි.

වැඩබලන විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයා සඳහන් කළේ, සැකකරු සේවය කරන විදුහලට ලැබුණු 11 ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම ප්‍රශ්නපත්‍ර බාහා තිබූ පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කොට පසුව මෙම සැකකරු විසින් වට්ස්ඇප් ඔස්සේ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයට යවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවය.

ඊට අමතරව තවත් ප්‍රශ්නපත්‍රයක් සැකකරු සිය නිවසට රැගෙන ගොස් සැකකරුගේ දියණියගේ ජංගම දුරකථයෙන් ඡායාරූප ගෙන එම ඡායාරූප ද වට්ස්ඇප් ඔස්සේ යවා ඇති බව ද පවසා සිටි සැරයන්වරයා පාර්සල්වල මුද්‍රා කඩා ප්‍රශ්නපත්‍ර පිටතට ගෙන ඡායාරූප ලබාගෙන පසුව ප්‍රශ්නපත්‍ර යළි පාර්සල් තුළට දමා ඉතා සූක්ෂම ලෙස අලවා තිබූ බවද පැවසීය.

සැකකරුගේ මෙම නීතිවිරෝධී ක්‍රියාව හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ ප්‍රශ්නගත සියලු ප්‍රශ්නපත්‍ර අවලංගු කිරීමට සිදුව ඇති බවද අවධාරණය කළ සැරයන්වරයා සැකකරු රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂය ඉක්මවා මූල්‍යමට අලාභයක් සිදුකොට ඇති බව උතුරු මැද අධ්‍යාපන බලධාරීන් පොලීසියට පවසා ඇති බවද ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක බවත් සැරයන්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත සැරයන් සරත් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපොළ පනත ප්‍රකාරවය.

පුවත්

හිරුණිකාගේ  නඩුව කල්යයි

Published

on

By

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවන ලදී.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නාය.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට විරුද්ධව මෙම පැමිණිල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දින නියම වේ.

Published

on

By

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේදී මෙම විමර්ශන ගොනු මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවය.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවීමටද නියම වුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදෙයි

Published

on

By

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේය.

එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියම කළේය.

එම අවස්ථාවේදී  විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරදක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.

එහිදී විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසය.

ඊන අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සංඛ්‍යාව  05කි.

සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved