ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මලයාසියාව බලා පලාගිය සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා මේ වන විට එහි සිට වෙනත් රටකට ගොස් ඇතැයි වාර්තා වේ.
මේ තොරතුර සම්බන්ධයෙන් මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
අඹු දරුවන් සමඟ මලයාසියාව බලා පලාගිය ඔහු එරට සතියකට වැඩි කාලයක් ගතකර නොමැති බවට විවිධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංජීව මහනාම මහතා ඉන්න ස්ථානයක් හඳුනා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මෙන්ම වෙනත් විකල්ප ක්‍රම ඔස්සේ පියවර ගනිමින් සිටින බව ද මේ අතර වාර්තා වේ.
මෙම වෙඩිතැබීමට සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම සම්බන්ධ බවත්, ඔහු රටින් පලාගොස් ඇති බවත්, නිල වශයෙන් පොලිසිය ප්‍රකාශ කර සිටී.
උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තබන්නේ පසුගිය වසරේ සැත්තැම්බර් 18 වැනිදා රාත්‍රී කාලයේදීය.
එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ උද්දිකගේ අනුදැනුම මත සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බව මේ වන විට හෙළිවී තිබේ.
වෙඩි තබා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිල ගිනි අවියෙනි.
පසුව එම අවිය කැඩී ඇති බව පවසා ගිනි අවිය මධ්‍යම අවි ගබඩාවට ලබා දී වෙනත් අවියක් ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.
වෙඩි තැබීමේ රංගනයෙන් පසු පවුල් පිටින් උද්දික ප්‍රේමරත්න මහතා ද රටින් පිටව ගොස් කැනඩාවේ රැකවරණය ලබමින් මේ වන විට ජීවත්වේ.