පුවත්

උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි

Published

on

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ මහත්මියට, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අසෝකට දැනුම් දී තිබේ.

ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට සිදුකළ දැනුම්දීමට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර ඒ අනුව අද (02) දිනයේ අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස උමාරා සිංහවශට දන්වා යවා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් විසින් මෙම විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් මූලිකව සොයා බැලෙනු ඇත.

විමර්ශනයට පසු අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදී ඉන්අනතුරුව නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිතය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ දක්වා එවැනි දැනුම්දීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Trending

Exit mobile version