Connect with us

පුවත්

උසාවියට අපහාස කළ නිසා භූ විද්‍යා අධ්‍යක්ෂට එරෙහි පැමිණිල්ලක්

Published

on

මාදම්පේ ප්‍රදේශයේ පිහිටි විශාල භූමි ප්‍රමාණයක සිදුකරන සිලිකා වැලි කැණීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි 15 වන දා ලබා දුන් නියෝගයට පටහැනිව කටයුතු කර ඇති පතල් කැණීම් හා භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කලේය.

එම සිලිකා වැලි කැණීම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම තත්ත්වය පවත්නා තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කර තිබියදීත් පතල් කැණීම් හා භූ විද්‍යා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව වැලි ප්‍රවාහන බලපත්‍ර කිහිපයක් නිකුත් කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය එමගින් පෙන්වා දී තිබුණි.

එම පැමිණිල්ල ඊයේ (11) එස්. තුරෙයිරාජා හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.

වගඋත්තරකාර පාර්ශ්වයට එම පැමිණිල්ලට අදාළ නොතීසි මේ දක්වා ලැබී නොමැති බවත් නොතීසි ලැබුණු පසුව අදාළ තොරතුරු ලබා ගෙන කරුණු දැක්වීමට දින ලබා දෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, වගඋත්තරකාර පාර්ශ්වවලට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඩුල්ල පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සලකා බැලීම සඳහා ලබන ජනවාරි 20 වනදා එම නඩුව යළි කැඳවීමට නියෝග කලේය.

මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් නවයක සිලිකා වැලි කැණීම් 40ක් පවතින බව ත් අක්කර 200ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති එකී නීති විරෝධී වැලි කැණීම් නිසා විශාල පාරිසරික හානියක් සිදුවන බවත් පෙන්වා දෙමින් පරිසර යුක්ති කේන්ද්‍රය මින් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර එකී නීති විරෝධී ක්‍රියාදාමයන් වළක්වන නියෝගයක් මධ්‍යම පරිසර අධිකාරිය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු බලධාරීන්ට නිකුත් කරනා ලෙසත් එමඟින් ඉල්ලා තිබුණි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේය.

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved