පුවත්

එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ විනිසුරු මඬුල්ලේ විනිසුරු ධූර 2ක් හිස්

Published

on

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරින් 09 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ විනිසුරු ධුර දෙකක් පුරප්පාඩුව පැවතීම හේතුවෙන් එම නඩුවේ විභාගය මැයි මස 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි නිලධාරින් 09 දෙනකුට එරෙහි මෙම නඩුව විභාග කිරීම සඳහා චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් නම් කර තිබිණි.

එහෙත් චමත් මොරායස් විනිසුරුවරයා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා යාම සහ සාමාජික විනිසුරු දමිත් තොටවත්ත පෞද්ගලික හේතුන් මත එම නඩු විභාගයෙන් ඉවත්වීම හේතුවෙන් එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරු ධුර දෙකක් මේ වන විට පුරප්පාඩුව පවතී.

ඒ අනුව අදාළ නඩුව විභාග කිරීම සඳහා පුරප්පාඩුව පවතින විනිසුරු ධුර සඳහා නව විනිසුරුවරුන් නම් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු මහේන් වීරමන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කර තිබේ.

2010 වසරේ ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබිණි.

Trending

Exit mobile version